ප්‍රධාන

අරුන්දික ප්‍රනාන්දු ටෝකියෝහි දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැහැදකී

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (2017 ජුනි 05 වන දා) ජපානයේ ටෝකියෝ අගනුවර දී සිදු විය.

මහින්ද රාජපක්ෂ හිටුපු ජනාධිපතිවරයා මේ දිනවල ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ මෙන්ම එහි විශේෂ නියෝජිතයින්ගේ ආරාධනාවකට අනුව ජපානයේ සංචාරයක නියැළෙමින් සිටී.

මෙම සංචාරය අතරතුර ජපාන රජයේ විශේෂ නියෝජිතයින් කිහිපදෙනෙක් ද හමුවී සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද “ලංකාසිටිසන්” ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ දිනවල ජපානයේ සිටින වත්මන් යහපාලන රජය නියෝජනය කරන බොහෝ දෙනෙක් තම සංචාරයන් අතරතුර දී මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට මහත් උන්නදුවෙන් සිටින බව ද සැලයි.

මේ අය අතරින් ශ්‍රී ලංකාවේ වත්මන් ‘යහපාලන’ රජයේ අමාත්‍ය ධුරයක් දරන අරුන්දික ප්‍රනාන්දු, ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී දීර්ඝ වේලාවක් සාකච්ඡාවක නිරතවීම දේශපාලනික වශයෙන් යම් වැදගකමක් ද උසුලන බව අපගේ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. අපට ලැබී ඇති තොරතුරු අනුව හා දර්ශනය වන අයුරින් මේ සාකච්ඡාවන්හි ගැඔුරක් තිබිය හැකි බව වැටහේ.

විවිධ සාකච්ඡා මෙසේ සිදුවන අතරතුර ජපානයේ වෙසෙන ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයන් සේ ම, ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් රාශියක් ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සංචාරය සාර්ථක කර ගැනීමෙහිලා කැප වී සිටිති.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ වනවිට ජපානයේ වැසියන්ගේ ද ඇත්තේ මහත් හෘදයාංගම බැඳීමකි. තවද, රාජ්‍ය බලය අහිමිවීමෙන් අනතුරුව වුව ද එරට සංචාරයේ නියැළෙන ශ්‍රී ලාංකික නායකයෙකුට හිමිවන පිළිගැනීම හා ආකර්ෂණය පිළිබඳව ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද මහත් සතුටට පත්ව සිටින බව ද දැනගන්නට ලැබේ.

ඉහළ ඡායාරූපයේ මැද සිටිනුයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සේ ම දේශපාලනයේ ද කතාබහට ලක් වූ චරිතයකි. ඔහු සමන් ප්‍රියංකර ය.