ක්‍රීඩා

ශ්‍රී ලාංකීය පුහුණුකරුවන් යටතේ බංගලිදේශයට ඓතිහාසික ජයක්

ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්‌ථානයේ සිටින ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ධාකා හිදී පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ලකුණු විස්‌සක තියුණු ජයක්‌ ලැබීමට මුස්‌µsකර් රහීම්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ පිල ඊයේ (30 දා) සමත් විය.

ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල නව වැනි ස්‌ථානයේ පසුවන බංග්ලාදේශය සිය ක්‍රිකට්‌ ඉතිහාසයේ ලද දහවැනි ටෙස්‌ට්‌ ජයද මෙය වේ. සිය වැනි ටෙස්‌ට්‌ තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණයකින් සැමරූ බංග්ලාදේශය ඊයේ සහභාගි වූයේ 101 වැනි ටෙස්‌ට්‌ තරගයටය. ඔවුන් මීට පෙර සිම්බාබ්වේට එරෙහිව පස්‌වරක්‌, කොදෙව්වන්ට එරෙහිව දෙවරක්‌, ශ්‍රී ලංකාවට සහ එංගලන්තයට එරෙහිව එක්‌ වරක්‌ බැගින් ටෙස්‌ට්‌ ජයග්‍රහණ ලබා තිබේ.

තරගයේ දිනයක්‌ ඉතිරිව තිබියදී බංග්ලාදේශය අදාළ ජයග්‍රහණය සතු කර ගැනීමට සමත් වුයේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ සුපිරි දක්‍ෂතාව ප්‍රධාන කොටගෙන වන අතර ඔහු තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ඒත් බිරිඳ කිව්වා දිනා ගන්න පුළුවන් කියලා.”
තරගයේ වීරයා වූ ෂකීබ් කියයි

“මට ඊයේ රෑ හිතුනෙ නැහැ අපි දිනයි කියලා. මොකද ඔස්‌ටේ්‍රලියාවට ජයග්‍රහණයට අවශ්‍ය වුණේ කඩුලු අටක්‌ තියෙද්දි ලකුණු 156 යි. ඒත් මගේ බිරිඳ කිව්වා ෂකීබ් ඔයගොල්ලන්ට හෙට දිනන්න පුළුවන් කියලා. මේ වෙලාවෙ මම බිරිඳට ස්‌තුති වන්ත වෙනවා මාව දිරි ගන්වපු එක ගැන.” යෑයි ෂකීබ් තරගයෙන් අනතුරුව පවසා සිටියේය.

පළමු ඉනිමේදී අර්ධ ශතකයක්‌ (84) සමග ඉනිම දෙකේදීම කඩුලු පහ බැගින් සමස්‌ත තරගයේදී ලකුණූ 153 කට කඩුලු 10 ක්‌ බිඳ දැමීමට ෂකිබ් සමත් විය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩක චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුව බංග්ලාදේශය සීග්‍ර දියුණුවක්‌ ලබා ඇති අතර ඔහුගේ සෙසු පුහුණු කාර්ය මඩුල්ලට තිලාන් සමරවීර, චම්පක රාමනායක, මරියෝ වෙල්ලවරායන් යන ශ්‍රී ලාංකිකයන් එක්‌ කර ගැනීමටද හතුරුසිංහ සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්‌කයක්‌ හිමිවු ඔස්‌ටේ්‍රලියානුවන් තරගයේ තෙවැනි දිනය නිමා වන විට කඩුලු අටක්‌ අතැතිව ජයග්‍රහණයට ලකුණු 156 ක්‌ ඈතින් සිටියේය. නමුත් ඔස්‌ටේ්‍රලියානුවන්ගේ අවසන් කඩුලු හය ලකුණු 135 ක්‌ තුළදී අහිමිව යැමෙන් බංග්ලාදේශයට ඓතිහාසික ජයක්‌ හිමිවිය.

“මේක විශිෂ්ට ටෙස්‌ට්‌ තරගයක්‌. අපිට දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන්න ගොඩක්‌ අමාරු වුණා. නමුත් නිදහසට කිසිවක්‌ අපි කියන්න යන්නෙ නැහැ. පළමු ඉනිමේදී ඉදිරියෙන් ඉන්න බැරි වුණ එකත් අපිට අවාසියක්‌ වුණා. දැන් දෙවැනි ටෙස්‌ට්‌ තරගය ගැන බලන් ඉන්නවා.” යෑයි ඔස්‌ටේ්‍රලියානු නායකයා තරගයෙන් අනතුරුව පැවසීය.