විනෝදාස්වාද

බබා ට එරෙහිව ශ්‍රී ලංකා ගුවන්විදුලියේ හර්තාල්

බබා නමින් ප්‍රකට, (එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාසවාදියෙක් ලෙසද ප්‍රකට), ඒරානන්ද හෙට්ටිආරච්චි නම් අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අනිද්දා (2017 නොවැම්බර් 02)  දහවල් 12 ට ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රය තුලදීම උද්ඝෝෂණයක් සංවිධානය වෙමින් තිබේ. මේ උද්ඝෝෂණය වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගම් ශාඛාව වීම මෙහි ඇති විශේෂත්වයයි.

මේ වනවිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුල දැඩි නොසන්සුන් වාතාවරණයක් හටගෙන ඇති අතර එය මේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් වීම සැලකිල්ලට ගතයුතුම තත්ත්වයක පවතින බව ද එහි සේවකයෝ පවසති.

“ගුවන් විදුලියට පත්ව ආ නව සභාපතිවරයා යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරමින් රාජ්‍ය මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට වෙරදරද්දී, බබා මේ ආයතනය තවදුරටත් අගාධයට ඇද දමමින් සිටිනවා..“ යනුවෙන් එහි සේවකයින් කිහිප දෙනෙක්ම අප සමග පැවැසීය.

දේශපාලනික පලිගැනීම් සහ නුසුදුස්සන් ඉහල තනතුරු වෙනුවෙන් පත්කිරීම් පිළිබදව කාලාන්තරයක් තිස්සේ කප් ගසා සිටින ඒරානන්ද හෙට්ටි ආරච්චි හෙවත් බබා, මේ වනවිට පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම ගුවන් විදුලියේ සියලු දෙනා අතර දැඩි අප්‍රසාදයට පත් පුද්ගලයෙක් බව ද සැලයි.

කෙසේ වෙතත්, ගුවන්විදුලි ඉතිහාසයේ ගරුත්වයට ද හානිවන අයුරින් සිදුකරමින් පවතින අකටයුතුකම් හමුවේ මෙවන් උද්ඝෝෂණයකට යෑම හැර වෙනත් විකල්පයක් තමන් අබිමුව නැතැයි ද සේවකයෝ පවසති.

තවද සාම්ප්‍රදායිකව හැසිරෙමින් කාලයක් තිස්සේ සිදුවූ නොපනත්කම් සීරුවට වෙනස් කළ යුතුබව වත්මන් සභාපතිවරයා අවබෝධකරගෙන සිටින බවක් තමන්ට ද වැටහෙන්නේ යැයි එහි ආණ්ඩුපක්ෂයේ නොවන වෘත්තීය සමිති නියෝජිතයෙක් “ලංකාසිටිසන්“ සමග පැවැසීය.

ඒරින්ද හෙට්ටිආරච්චි බබාට එරෙහි උද්ඝෝෂණය නොවැම්බර් 02වන දින දහවල් 12 ට පවත්වන බවට ගුවන්විදුලිය තුල මේ වනවිට පොස්ටර් හා පත්‍රිකා ප්‍රදර්ශනය වෙමින් පවතී.