විශේෂාංග

E News වාරණයට වගකිව යුත්තේ මෛත්‍රී ද ? ශිරාල් ද ? අර්ජුන ද ?

සිංහල භාෂාවෙන් ජාලගත කරන පුවත් වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුල වාරණය පිළිබද කතා බහ යළි කරලියට පැමිණ ඇත. ඒ ඊයේ සිට www.lankaenews.com වෙබ් අඩවිය වාරණයට ලක්වීමත් සමගයි. රාජපක්ෂ පාලන සමයේ දීද මේ ආකාරයට අන්තර්ජාල වාරණ කිහිපයක්ම ක්‍රියාත්මක වූ අතර ඒ වෙබ් අඩවි කරගෙන ගිය ඇතැමුන්ට හා ආයතනයන්ට විවිධ මාදිලියේ තර්ජනයන්ට ද ලක්වීමට සිදුවිය.

වත්මන් යහපාලනය බලයට පැමිණියේ මේ සියලු ක්‍රියාවන් පමණක් නොව රාජපක්ෂ පරම්පරාවේ කිසිවෙකුත් සිහිනයෙන්වත් සිදු නොකළ ඇතැම් දෑ පිළිබදව මහත් නිර්මාණයන්ද සමාජගත කරමිනි. රත්රං අශ්ව කතාන්දරය එවන් එක් පියවරකි. ඒ ඒ අවස්ථාවන්හිදී අධි තක්සේරුවෙන් සිටි රාජපක්ෂ පාලකයෝ මේ සම්බන්ධ මාධ්‍ය වාර්ථා වාරණයට විවිධ මං භාවිත කළ ද ඊට සුදුසු බහුතරයටකට පිළිගත හැකි ක්‍රමවේද අනුගමනය නොකළේ ය. ඒ හේතුවෙන් අතිශයෝක්තියෙන් හෙබි ගොබෙල්ස් න්‍යාය සමාජගතවීය. එය මහින්ද රාජපක්ෂ පරාජයට එක් හේතුවක් වූ බව අද පැහැදිලිය.

මෑත අතීතයෙන් එවන් පාඩම් රැසක් තිබිය දී රාජපක්ෂ පාලනයේ දුර්වලතා හුවාදක්වමින් බලයට පැමිණි යහපාලනය දැන් දැන් ප්‍රකට කරමින් සිටින මාධ්‍ය මර්දනයේ පැතිකඩ කිසිසේත්ම සුබවාදී අනාගතයක පෙරමග සලකුණු නොවන බව පැහැදිලිය. වත්මන් රජයේ ඇතැම් පාර්ශව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ සිදුකරනු ලබන බොහෝ කටයුතු දියුණු සන්නිවේදන මෙවලම් ඔස්සේ මුලු ලොවටම කාන්දු වන්නේ හීයේ වේගය ද පරයමිනි. ඊට පිළිතුර වාරණය දැයි යහපත් සමාජ ප්‍රගමණයක් පතන “ලංකාසිටිසන්”  අපි යහපාලන බලධාරීන්ගෙන් අසමු.

ලංකා ඊ නිවුස් හෝ ඇතැම් වෙබ් අඩවි හෝ ඔවුන්ගේ යතුරු පුවරු හසුරුවන සදාචාරය පිළිබඳව අපිදු අපේ මට්ටමින් සෑහීමකට පත්වෙතත්, නොවෙතත් ඊට පිළිතුර අශික්ෂිත වාරණ ක්‍රියාමාර්ගය නොවන බව අපි පැහැදිලිවම පවසමු.

තවද මේ වනවිට ඒ වෙබ් අඩවියද ඇතුළු මාධ්‍ය ගණනාවක් යහපාලනයේ දූෂිත ගනුදෙනු හා ඇතැම් ක්‍රියාමාර්ග ලිඛිත සාක්ෂි සහිතව ගෙනහැර දක්වා ඇත. ඒවාට නිසි පිළිතුරු ලබාදෙනවා වෙනුවට මර්දන ක්‍රියාමාර්ග මගින් මත යටපත්කිරීමට දරන උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

කෙසේ වෙතත් මේ වාරණයන් සම්බන්ධව රජයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් සහ පාර්ශව අන්තර්ජාලය ඔස්සේ මෙන්ම ප්‍රසිද්ධ රැස්වීම් වලදී ද ඍජු හා වක්‍ර මත පලකරමින් සිටීම ද විශේෂත්වයකි. ඊයේ පැවැති මාදුළුවාවේ සෝභිත හිමි ගුණ සමරුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය වේගවත් කතාවේදී පවා ගෑවී නොගෑවී යන සේ, එහෙත් තතු දන්නන්ට රහසක් නොවන මේ මාධ්‍ය වාරණ සම්බන්ධ තම පාර්ශවයේ කැමැත්ත හෝ ඊට ඇති අනුකූලතාව විදහාපෑවේ ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද විටින් විට විවිධ ක්‍රමෝපායන් ඔස්සේ මාධ්‍ය දඬු අඬුවේ ගසන්නට වෙර දැරුවේය. ඔහුත් ඒ වෙර නැවැත් වූ බවක් ද නොපෙන්වයි. ඒ සමගම මේ මොහොතේ වාරණයට පැති දෙකක් ඇති බවද පෙන්නුම් කරයි. අගමැති කාර්යාලයට සම්බන්ධ මාධ්‍ය අංශයේම ඇතැමුන් මේ පිළිබඳව තම සමාජජාලා ගිණුම් ඔස්සේ ඍජුවම මේ ඊනිවුස් වාරණය හෙළා දැක තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුවතුලම මේ සම්බන්ධව මත කිහිපයක් නිර්මාණය වී ඇතිබව පැහැදිලි කර ඇත.

මෙම වාරණය සම්බන්ධව පලවන පුවත් අතර, “…යහපාලන ජනාධිපති යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ලංකා ඊ නිව්ස් අප වෙබ් අඩවියට මහජනතාව පිවිසීම ශ්‍රී ලංකාව තුල වාරණය කරන්නැයි සියලුම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වෙත නියෝග කර තිබේ.” යනුවෙන් විශ්වාසදායී ආකාරයෙන් පුවත් පලවී තිබේ. එසේ හෙයින් මේ පිළිබඳව අදාළ පාර්ශව ඍජු පිළිතුරක් ලබා දිය යුතුව ඇත. එමෙන්ම අගමැති කාර්යාලය සම්බන්ධ පුද්ගලයින් ඍජුව “….ලංකා e නිවුස් වෙබ් අඩවියට පිවිසීම අද දිනයේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ඩේට සම්බන්තාධ වලින් අපහසු වී තිබෙනවා ..තෙල් අර්බුදය සම්බන්යෙධන් රණතුංග වරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්දයෙන් ලිපි තුනකුත් ශිරාල් ලක්තිකගේ දුෂණයක් සම්බන්ධයෙනුත් ලිපියක් පලවී තිබෙනවා ,.අද දිනයේ….කෙසේ උවත් වෙබ් අඩවි පාලනය කිරීමට උනනදුවීම පිස්සුවක් …මරි මෝඩ වැඩක් .” යනුවෙන් සටහන් යොදා තිබේ. මේවා පහසුවෙන් බැහැර කළ නොහැකි බව ද අපි එහි නම් සඳහන් අයට මතක් කර සිටිමු.

එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ, පසු කාලීනව පෙරට ආ මාධ්‍ය සංවිධාන ගණනාවක් අපිට දැකගත හැකි වීය. මේ ලියුම්කරුද එ සමයෙහි එහි ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළේ ය. ඇතැම් අවස්ථාවන්හිදී රාජපක්ෂ පාලන කාලයේ මාධ්‍ය සම්බන්ධ ඉතා කුඩා දෙයකට පවා වීදි බට සංවිධානයන් මේ අවස්ථාවේ යහපාලනය නමින් ක්‍රියාත්මකවන මාධ්‍ය මර්දනය හමුවේ ගන්නා පියවර කුමක්ද යන්නත් වහ වහා පැහැදිලි කර ගත යුතුව තිබේ. මන්දයත් 1977 න් එපිට සිට (දවස වැනි ආයතන සීල්තැබූ යුගයේ සිට) මාධ්‍ය ක්ෂේත්‍රයේ අද්දැකීම් ඇති සුලු පිරිසක් හෝ තවමත් මේ මාධ්‍ය හා සිවිල් සංවිධානයන්හි ක්‍රියාකාරීව සිටින නිසාවෙනි.

තවද එහි විශේෂත්වයක් ද ඇත. රාජපක්ෂ පාලන සමයේ මාධ්‍ය නිදහස ඉල්ලා මොරගෑ ඇතැමුන් අද රජයේ මාධ්‍ය අංශවල ඉහල නිලතල හෙබවීමත් අපි අමතක නොකළ යුතුය.

ඊයේ සිට වාරණයට ලක්වූ ලංකා ඊ නිවුස් මෙසේ තම මතය පල කැර තිබේ. එය අපි උපුටා දක්වමු.

යහපාලන ජනාධිපති ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කරයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.08, ප.ව.4.12) 

යහපාලන ජනාධිපති යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ලංකා ඊ නිව්ස් අප වෙබ් අඩවියට මහජනතාව පිවිසීම ශ්‍රී ලංකාව තුල වාරණය කරන්නැයි සියලුම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වෙත නියෝග කර තිබේ. 

ඒ අනුව අද දහවල් සිට ශ්‍රී ලංකාවේ කිසිදු අයෙකුට www.lankaenews.com වෙත පිවිසිය නොහැකිය. 

වාරණයට පෙර ජනාධිපතිවරයා සහ මහාරාජා සමාගම එක්ව රුසියාවෙන් යුද නැවක් මිලට ගැනීමට යෑමේ ‘ඩීල් එක‘ සම්බන්ධයෙන් තොරතුරු ලංකා ඊ නිව්ස් විසින් අනාවරණය කිරීමෙන් පසුව ලංකා ඊ නිව්ස් වෙත දැන්වීම් සැපයූ ආයතන වෙත කතා කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීහු එකී දැන්වීම් නතර කර දමන්නැයි නියෝග කළහ.
 
බොහෝ ආයතන දැන්වීම් නතර කළා පමණක් නොව ගෙවීමට තිබූ හිඟ මුදල් ගෙවීමද අත්හිටුවන ලදී.
  
පසුගිය රාජපක්ෂ යුගයේ දී ද ලංකා ඊ නිව්ස් වෙත ප්‍රථමයෙන් ආවේ දැන්වීම් පාලනය කිරීමේ මර්දනය යි. දෙවනුව මාධ්‍ය ආයතනය වෙත සීඅයිඩිය කඩා පැනීම සිදුවූ අතර සීඅයිඩිය වෙත කැඳවා ප්‍රශ්න කිරීම ද සිදුවිය. එය වසරකට 9-10 වතාවක් තරම් විය. පෝද්දල ජයන්ත මාධ්‍යවේදියා පැහැර ගැනීම ගැන පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් එම පැහැර ගැනීමට ලංකා ඊ නිව්ස් සම්බන්ධ යයි කියා කතුවරයා සහ ප්‍රවෘත්ති කතුවරයාට එරෙහිව ව්‍යාජ නඩුවක් පැවරුවේය.  ඉන්පසුව ලංකා ඊ නිව්ස් මාධ්‍ය සගයා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද අතර ඊ නිව්ස් කතුවරයාට රට හැර යෑමට සිදුවිය. අනතුරුව ලංකාවේ සිටි මාධ්‍යවේදීන් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කොට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ඇරඹින. එයින් පසුව ලංකාවේ පවත්වාගෙන ගිය කාර්යාලය සහ වටිනා පුස්තකාලය සහමුලින්ම ගිනි තබා විනාශ කෙළේය. ඉන් මාස කිහිපයකට පසුව ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කෙළේය. ඒ මහින්ද රාජපක්ෂගේ වනචර දශකයේ දී ලංකා ඊ නිව්ස් විඳි මර්දනයේ කාල සටහනයි. 

යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසුව ලංකා ඊ නිව්ස් වෙත පනවා තිබූ වාරණය ඉවත් කෙරුණු අතර ප්‍රගීත් අතුරුදහන් කිරීම ගැන පරීක්ෂණ ආරම්භ කෙරිණ. නමුත් ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන පරීක්ෂණ ආරම්භ කෙළේ නැත. ප්‍රගීත් අතුරුදහන් කිරීමට සම්බන්ධ යුද හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලද නමුත් ජනාධිපතිවරයාගේ රණවිරු උන්මාදය හේතුවෙන් පරීක්ෂණ නිමාවන තුරු ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකර ඇප මත නිදහස් කරන ලදී. ඇප මත සිටියදී යුද හමුදා රැකියාව නොලැබෙන්නේ වී නමුත් ජනාධිපති වරයා ඔවුන්ව යලි සේවයේ පිහිටැව්වේ ය. ඉන්පසු පරීක්ෂණ අඩාල වූ අතර එම පරීක්ෂණ වලට දැන් සිදුවූ දෙයක් නැත. 

ඉන්පසුව ජනාධිපතිවරයාගේ හෙංචයියන් විසින් ලංකා ඊ නිව්ස් කතුවරයා වෙත ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කරවා ගැනීමට වෑයම් කරන ලද නමුත් එය නොහැකි විය. පසුව එකී හෙංචයියන් විසින්ම ව්‍යාජ නඩුවක් පවරා තිබේ. 

පසුගිය රාජපක්ෂ යුගයේ ලංකා ඊ නිව්ස් ඇතුළු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මුහුණ දුන් මර්දනයන්ට වන්දි ගෙවන බව කීවද අද දක්වා ලැබුණු ලබ්බේ (0) වන්දියක් හෝ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා වාරණයෙන් ‘වන්දි ගෙවීම‘ අරඹා තිබේ.

යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කැපව අපවත් වූ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දෙවන අනුස්මරණ උත්සවයට අද සහභාගී වූ ජනාධිපතිවරයා පවසා තිබුනේ හොරු ඇල්ලීමට තමන් කොමිසමක් ආරම්භ කරන ලද අතර ඉන් හෙලි වූ හොරු, විදේශයක සිට මෙහෙයවන වෙබ් අඩවියකට මුදල් ගෙවා තමන්ට මඩ ගහන බවයි.

ලංකා ඊ නිව්ස් වාරණය ලංකාවේ ජනතාවට ඇති තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ උග්‍ර පහරකි.  

* කෙසේ වෙතත් සන්නිවේදනයේ දියුණු තලයේ වෙසෙන ලොවක මේ වාරණයන්ට එපිටින් යාමේ හැකියාවද ඇත. ඒ අනුව වෙනත් මාර්ග ඔස්සේ ඊට පිවිසිය හැකිය. මේ එසේ පිවිසිය හැකි මගකි.http://54.86.146.54/news/6632/si

අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනුයේ තමන් අකමැති දේට හෝ තමන්ට එල්ලවන පැනයන්ට පිළිතුරු දෙනු වෙනුවට මෙවන් අගතිගාමී පියවර නොගෙන්නා ලෙසයි.

සටහන – ජනිත් විපුලගුණ

janithv@gmail.com