ක්‍රීඩා

වැඩිම මුදලක් ගෙවා ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ විය හැකියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීලඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට ආරාධනා කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ක්‍රීඩා ඇමතිවරයා එම ප්‍රකාශය කළේ කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කරනු ලබන බදාදා (නොවැම්බර් 15) මාධ්‍ය හමුවට එක් වෙමිනි.

“දෙයියනේ කියල එතුමාට එන්න ඉඩ දෙන්න. අපි හොඳ දෙයක් කරනවා” අමාත්‍ය දයාසිරි ජයසේකර, එම කැබිනට් මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම පසුගියදා ඉදිරිපත් කළ අතර,ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට පුරප්පාඩු වී ඇති ප්‍රධාන පුහුණුකරු තනතුර බාර ගනු ඇති බවට ඒ සමඟ අදහස් පැතිර යන්නට විය.

“එතුමාටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා, බංගලාදේශ් කණ්ඩායම සමගයි – ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට තරඟ කරන්නේ. ඉන්දියානු සංචාරයෙන් පස්සේ, පළමුවෙන්ම එතුමාට යන්න වුනොත් යන්න වෙන්නේ බංගලාදේශයට. බොහෝ දුරට ඒක හරි යයි කියලා අපි විශ්වාස කරනවා. 2019 වෙන තෙක් එතුමා බංගලාදේශය සමග ඉන්නයි නියමිතව තිබුණේ. ඒ නිසා ඒ පැත්තෙන් ප්‍රශ්න එන්න පුළුවන්” ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.

බංගලාදේශය සිය කණ්ඩායමේ පුහුණුකරු හැටියට ඇමරිකානු ඩොලර් 40,000 කට වැඩි මාසික මුදලක් චන්දික හතුරුසිංහට ගෙවා තිබුණු අතර එවැනි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට ශක්තියක් තිබේදැයි මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යවරයා, එතරම් වැටුපක් බලාපොරොත්තු නොවන බව චන්දික හතුරුසිංහ ප්‍රකාශ කර ඇති බව සඳහන් කළේය.

“අපි එතුමාට කිව්වේ 2019 වෙනකම් වගකීම් බාර ගෙන වැඩ කරන්න කියලයි. වැටුප ගැන එතුමා කිව්වා-ඔහු එතරම් මුදලක් ගැන හිතන්නේ නැහැයි කියලා. රට වෙනුවෙන් වැඩ කොටසක් කරන්න තියෙනවා කියලයි එතුමා කිව්වේ” ක්‍රීඩා ඇමතිවරයා පවසයි.

“එතුමා දැනට ඩොලර් 40,000 ක් වගේ වැටුපක් ගන්නවා. ඒ වැටුප පැත්තකින් තියලා අභියෝග මැද අපේ ක්‍රීඩකයන් බාර ගැනීම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කළ යුතුයි”

කෙසේ වුවද, ශ්‍රී ලංකාව විසින් වැඩිම මුදලක් ගෙවා ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

චන්දික හතුරුසිංහ සමග බංගලාදේශයේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු තනතුර බාර ගෙන තිබේ.

දැනට පවතින තත්වය එය වන නමුත් චන්දික හතුරුසිංහගේ පත් කිරීම තහවුරු කිරීමට තවමත් කල් වැඩි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අවධාරණය කළේය.