සංස්කෘති

නැගෙනහිරින් එන්නට සූදානම් සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය මෙන්න

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී පැවැති ( OCKHI) සුළි කුණාටුව දිවයිනට කිලෝමීටර් 1000 පමණ දුරින් පවතින බවත් එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කළ ද අලුත් සුළි කුණාටුවක් ජාවා සුමාත්‍රා දෙසින් වර්ධනය වී දිවයිනට බලපෑම් කරන්නට සමත් බවට තවත් වාර්තා පලවන්නට වීය.

පෙර සුළි කුණාටුවෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය. එහෙත් නවතම සුළි කුණාටුවේ බලපෑම් දැඩිවුවහොත් එහි බලපෑම නැගෙනහිර දිසාවට සහ ඊසානට බලපානු ඇතැයි විශිවාස කළ හැකිය.

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් අන්දමන් දුපත ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් තිබෙනු ඊයේ (2017 දෙසැම්බර් 02 වන දින) සවස් යාමයේත් දැක ගත හැකි වීය. එහෙත් අද උදෑසන සජීවී චන්ද්‍රිකා සේයා නිරීක්ෂණය කළ විට එහි බලපෑම යම්තාක් දුරකට හීන ව පවතින බවක් දිස්වීය. මේ හේතුවෙන් අද අහස තරමක් දීප්තිමත්ව හා සුළගේ වේගය අඩුවීමක් දක්නට හැකිවනු ඇති බවට අන්තර්ජාතික කාලගුණ නිරීක්ෂණ වාර්තා පැහැදිලි කරයි.

යම් හෙයකින් අන්දමන් දූපත්වලට ඉහළින් පවතින අඩු පීඩන තත්ත්වය වර්ධනය වුවහොත්, දෙසැම්බර් මස 05 වැනි දින සිට එය ශ‍්‍රී ලංකාවට බලපානු ඇති බවට කාලගුණ අංශ පුරෝකථනය කරයි.

දැනට ශ‍්‍රී ලංකාවට කිලෝමීටර 1700ක පමණ දුරකින් වර්ධනය වී ඇති මෙම අඩු පීඩන කලාපය දෙසැම්බර් 05-06 දිනවලදී ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දීය ගොඩබිම වෙත පිවිසීමට බොහෝදුරට ඉඩ ඇත.

එම දෙදින තුලදී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර කලාපයට වර්ෂාපතනයක් බලාපෙරොත්තු විය හැකි යයිද ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ මොහොතේ ( 2017 දෙසැම්බර් 03 වන දින පෙරවරු 9.50 ) ට පවතින තත්ත්වය එතරම් බලපෑම් සහිත නොවන බව චන්ද්‍රිකා සේයා මගින් පෙන්නුම් කරයි.

චන්ද්‍රිකා සටහන් මෙතනින්

Post Comment