ආකල්ප

මහින්ද අයියා අමරෙ මල්ලිලා මගහැර රටට යුක්තිය ඉටු කළා ද ?

අතීතයෙන් පිටුවක් කියවමු.

– සැබැවින්ම මහින්ද අයියා අමරේ මගහැර රටට යුක්තිය ඉටු කර ඇත – යන හිසින් යුතුව 2014 දෙසැම්බර් 03 වන දින ලියන ලද ලිපියකි මේ…

සැබැවින්ම මහින්ද අයියා අමරේ මගහැර රටට යුක්තිය ඉටු කර ඇත
________________________________________________
මැතිවරණයක් මුවවිට තිබෙන විට නොයෙක් තැන්හි පළ කරන පුවත් සහ මවන පුවත් අතර විවිධ වූ දෝෂාරෝපණ මෙන්ම අභූත චෝදනාවන්ද බහුලව දක්නට හැකිය. පුවත් ලෙස පතුරුවා හරින ඇතැම් ලේඛන කෙතරම් ගුප්ත දැයි හැගෙන සටහනක් මා නෙත ගැටුණු හෙයින් මේ විමසුම කරන්නට මා සිත තුළද හැගීමක් වෙයි. අපගේ සදාචාරාත්මක භාවය තුළ දේශපාලන ක්‍රියාවලියක නිමග්න වීම හැමදාමත් අගය කරන මා පුද්ගලවාදී හා පක්ෂ හෝ පාටක් හෝ වෙනුවෙන් ගැති නොවන ප්‍රතිපත්තිමය තලයක තවමත් පසුවෙන බැවින් මෙය මේ ආකාරයට විමසන බවද පැවැසිය යුතුය.

මාගේ මෙම අදහස් සදහා පාදකවන පුවතක සිරස්තලය මෙසේය.
————————————————————————————
– “මහින්ද අයියා අමරේ මල්ලිව බලාගෙන නෑ. වසර 28 කට හිරේ“-
————————————————————————————
මෙයටම සමානව මර්වින් සිල්වා ඇමතිවරයාගේ පුත් මාලක සිල්වා සම්බන්ධයෙන් ද ඇමතිවරයාගෙන්ම ඇතැම්හු ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්න කිරීම්වල යටි අරමුණ වූයේ “ඇමති තුමනි, ඇයි ඔබ ඇමති වරප්‍රසාද හෝ දේශපාලන බලහත්කාරය යොදාගෙන ඔබේ පුත්‍රයාට ඇප ලබා නොගන්නේ ?“ කියාය. එසේත් නැත්නම් යම් වරදක් කළ පුද්ගලයෙක්ට විරුද්ධව නීතිය යම් පමණකට හෝ ක්‍රියාවේ යෙදවී තිබෙද්දී එය අව තක්සේ්රුවට ලක්වන යෝජනා වක්‍රව ඉදිරිපත් කරමින් ඇමතිවරයාගෙන් ලබා ගන්නට වෙර දරන පිළිතුර යට ඇත්තේ කොතැනක හෝ වැරද්දකින් නීතිය අව භාවිතයේ යෙදවීමට කරනු ලබන උසි ගැන්වීම්ය.

කෙසේ වෙතත් “ජූලම්පිටියේ අමරේ“ ට ලබා දී ඇති දඩුවම මදි හෝ වැඩි හෝ යැයි පැවසීම නොව මෙයට අදාළ පුවතක හරය වී තිබුණේ වත්මන් ජනාධිපතිවරයා පතුරු ගැසීමය. ඒ අතරරේදීම මෙම ලියුම්කරු නොදැනුවත්වම වත්මන් විපක්ෂයේ අතීත ක්‍රියාකාරකම් මතකයට නගා ගැනීමට මගක් ද විවර කර ඇත. ජෝන් අමරතුංග ඇමතිව සිටි කාලයේ සිදුවූ තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ල සිහිපත් කරනවා සේම, ජේ ආර් ගේ ආණ්ඩුවේ ජෝන්ලා සිටිද්දී කළ දේවල්ද සිහිබුද්ධියෙන් දේශපාලනය කරනවුන්ට සුන්දර මතකයන් නම් නොවේ.

එදා උපාලි විජේවර්ධනගේ “දිවයින“ පුවත්පතේ ඡායාරූප මාධ්‍ය වේදියෙක් වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පී විමල් එස් සුරේන්ද්‍ර ගේ මරණය එදා ද (එක්සත් ජාතික පක්ෂ රජය යටතේ) අධිකරණයට රහසක් වූවාට, මා මුලින් කී සිහි බුද්ධිය ඇති දේශපාලනික විචාරකයින්ට නම් රහසක් නොවේ. රිය අනතුරකින් මරණයට පත් වූ බව හැග වූ විමල් එස් සුරේන්ද්‍ර මාධ්‍ය වේදියාගේ හිස්ආවරණය (හෙල්මට් එක) ජෝන් ගේ නිවසේ තිබූ බවට ද එකල ප්‍රකට වීය.

තවද සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා, කළු ලකීලා අමතක කරන්න තරම් සදේශපාලනික සමාජය අකෘතඥ නැතිවාට සැක නැත. ඒ නිසාම මහින්ද පාලනයේ නීතියේ ආධිපත්‍යය බිද වැටීම අගය කිරීමටත් අපි සූදානම් නැත. අප සැලකිල්ලට ගත යුත්තේ වෛරී මතවාදයන් පැතිරවීමෙන් බැහැරව වඩාත් නිවැරදි මාධ්‍ය භාවිතාවක සිට රටට නිවැරදි මාවතක් විවර කරන්නේ කෙසේද යන්නයි.
මාගේ සටහනට පාදක වූ පුවත මම යළිත් ඹබට උපුටා දක්වමු.

“…නීතිවිරෝධී රැස්‌වීමක සාමාජිකයන් වීම, නිවසකට ගිනි තබා රුපියල් හයලක්‌ෂ පනස්‌ දහසක අලාභයක්‌ සිදු කිරීම, වෑන් රථයකට ගිනි තබා රුපියල් ලක්‌ෂ තිහක අලාභයක්‌ සිදු කිරීම, නීති විරෝධී රැස්‌වීමේ සාමාජිකයන්ගේ හා සාමාජිකයන් කීප දෙනෙකු සමග පුද්ගයකුට පහරදී තුවාල සිදු කිරීම යන චෝදනාවන්ට වරද කරුවූ ජුලම්පිටියේ අමරේට
මොනරාගල පළාත් බද මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා විසින් පෙරේදා (1 දා) රුපියල් විසිදහසක දඩ සමග බරපතළ වැඩ සහිතව වසර විසි අටයි මාස හයක සිරදඬුවම් නියම කොට වින්දිත තැනැත්තාට රුපියල් විසිහතර ලක්‌ෂයක වන්දියක්‌ ගෙවන ලෙස නියෝග කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාටය. අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා දැනට බන්ධනාගාර ගතව සිටින මොහු බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‌ෂාව මත මොනරාගල මහාධිකරණය වෙත ගෙනවිත් තිබිණි…“

එසේ පුවත පළ කරන අතර තුර මාධ්‍යකරණය අව භාවිතයේ යොදවමින් යන එන ගමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තට්ටුවක් දමන්නටත් මෙම පුවත පළ කරන්නෝ අමතක නොකරති. එය කෙතරම් පහත් තට්ටුවක් ද යත් ප්‍රකට වන්නේ ඊට යොදා ඇති සිරස් තලයෙනි. එනම්, “මහින්ද අයියා අමරේ මල්ලිව බලාගෙන නෑ. වසර 28 කට හිරේ“ යන්නෙනි.

සත්‍ය වශයෙන්ම මහින්ද අයියා යුක්තිගරුක පුද්ගලයෙක් බව ද මෙ මගින් ගම්‍ය වෙයි. එනම් වැරදි කරුවා නිදහස් කර ගැනීමට ඔහු උත්සාහයක්වත් දරා නැති බවට කෙනෙකුට අදහසක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව මේ මගින් ඉතිරිකර ඇති නිසා ය. එසේ වුවත් “…….වරක් එජාප පාලන සමයේදී තංගල්ල බන්ධනාගරයේදී අනෙක් සිරකරුවන් හා එකව කැරලිගැසීමට අමරේ කටයුතු කළ අතර එදා බන්ධනාගාර ඇමැතිව සිටි ජෝන් අමරතුංග සමග මහින්ද රාජපක්ෂ එම බන්ධනාගාරයට ගොස් අමරේ හමුවිය. එහිදී රාජපක්ෂ අමරේට කතා කර තිබුණෙ, “අමරේ මල්ලී, මං මහින්ද අයියා….කියමිනි.’ඒ ඔවුන් අතර තිබු සහෝදරාත්මක බැඳීම නිසාය….“ යන ඡේදය එයට එක් කරනුයේ, මා මුලින් සදහන් කළ වෛරී මාධ්‍ය භාවිතය සහ ඇයි නුඹට බැරි අමරේ බේරා ගන්නට ? හෝ ඇයි උඹ අමරේ බේරා නොගත්තේ ? යන හැගීමෙන් එය පළ කළ නිසාය.

සත්‍ය වශයෙන්ම සිදු විය යුත්තේ දේශපාලකයින් ගේ ඉත්තන් බවට පත්වන හැම චණ්ඩියාටම අවසානයේ අත්වන ඉරණම මේ යැයි හැගෙන විග්‍රහයක් ඉදිරිපත් කිරීමය. එසේ නොමැතිව, හුදෙක් තම වාසිය වෙනුවෙන්ම කටයුතු කරමින්, පක්ෂ දේශපාලනය තුළ සැගවුණු න්‍යාය පත්‍ර වෙනුවෙන් තම මාධ්‍ය භාවිත කිරීමෙන් මාධ්‍ය වැළකී සිටිය යුතුය.

– ජනිත් විපුලගුණ –
-2014 .12. 03-