දේශීය

වායු දූෂණයක් නොවුණොත් පලාත්පාලන ඡන්දය 2018 පෙබරවාරි 10 ට පෙර ස්ථිරයි

ලංකාවේ සියලු පලාත් පාලන ආයතන වෙනුවෙන් මැතිවරණයක් පවත්වන පළමු අවස්ථාව එළැඹ ඇති බවත්, එය මැතිවරණ කොමිසමට අභියෝගයක් බවත් එහි සභාපති මහින්ද දේශප්‍රිය අද (2017 දෙසැම්බර් 04) කොළඹ දී පැවැසීය.

 එමෙන්ම, පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

ඡන්ද විමසීමේ දිනය ඉරිදා දිනයක් නොවන රජයේ නිවාඩු දිනයක් ද නොවන දිනයක පැවත්වීමට කටයුතු යොදන බව ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
සභා 97 පැවති මුද්‍රණ දෝෂ හේතුවෙන් නැවත වතාවත් එම සභා ගැසට් කිරීමට සිදුවු අතර එය පසුගිය දෙසැම්බර් 2 වන දින ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නැවත ගැසට් කළ බවත්, ඒ අනුව අද වන විට පළාත් සභා 248 ම නාමයෝජනා නිකුත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
නාමයෝජනා බාර දුන් පසු මැතිවරණයට දින 75ක කාලයක් පවතින අතර එම කාලයේ දී විභාග අපේක්ෂකයින්ට කිසිදු හානියක් නොවන ලෙස කටයුතු සිදුවිය යුතු අතර රථ හා මහජන පෙළපාලි හා මහජන රැළි සඳහා කිසිදු අනුමැතියක් නොමැති බවත්, එම නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දැඩි නීති ක්‍රියාත්මක කරන අතර උපරිම පොලිස් බලතල ක්‍රියාකර වන ලෙස ද උපදෙස් ලබා දී ඇති බව ද ඔහු කියා සිටියේය.
ලංකා ඉතිහාසයේ පළමු වරට දිවයින පුරා එකවැර නාමයෝජනා බාර ගත් පළමු ඡන්ද විමසීම මෙය වන බවත් එය ඉතා අසීරු කාර්යක් වන නමුත් පළමු වතාවට සවස 4ට ඡන්ද විමසීම් අවසන් වු වහාම සවස 5 වන විට ඡන්දය ගණන් කිරීමට ද මෙවර වැඩපිළිවෙලක් යොදා ඇති බවද පැවසීය.
ඡන්දයක් පැවැත්වීමට කෝටී 300ක පමණ මුදලක් සාමාන්‍යයෙන් වැය වන නමුත් මෙවර එම මුදල ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේය. කෙසේ හෝ මැච්එක වෙනුවෙන් පිච් එක සූදානම් බවත් වායු දූෂණයක් නොවුණහොත් ක්‍රීඩාව කෙරෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Post Comment