දේශපාලන

රනිල්-මෛත්‍රී විසින් තිස්ස අත්තනායක යළිත් රස්තියාදුවේ දමයි

එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩු විභාගය තෙවන වරටත් කල්දැමීමට කොළඹ මහාධිකරණය අද (2017 දෙසැම්බර් 04) නියම කර තිබේ.

නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තාවෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධ කිරිමෙන් ජාතීන් අතර සුහඳතාව බිද දැමිමට කටයුතු කළ බවට හිටපු ඇමති තිස්ස අත්තනායකට එරෙහිව අදාළ නඩුව විභාග වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම්දි ඇත්තේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගීවිය යුතු බැවින් තම සේවාදායකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටිමට හැකියාව නොමැති බවයි.

ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ ලබන වසරේ පෙබරවාරි 26 වන දින දක්වා නඩු විභාගය කල්දැමූ අධිකරණය එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට මහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන ලෙස නීතිඥවරුන්ට දැනුම්දි ඇත.

මේ අතර තිස්ස අත්තනායක මහතාට මේ මස 10 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

Post Comment