ආකල්ප

ඒකාබද්ධයේ අවුල “බැසිල්කරණය“ නිසා ද ?

“යන අය බැසිල් නිසා එන අය අපි නිසා”

ඇත්තට ම දර්ශන මේක කතා කරන්න ඕන ප්‍රශ්නයක්. බැසිල්කරණය කියල කියන්නේ මොකක් ද? බැසිල් හිතුමතේ සියළු දෙය තම අතින් පාලනය කරනවා කියන එක ද? එසේ නම් එය සම්පූර්ණ වැරදියි. බැසිල් රාජපක්‍ෂ තරම් පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ ආරක්‍ෂා කරන වෙන කිසිදු කෙනෙක් මම නම් දැක නැහැ. කොටින් ම මේ සියළු ලක්‍ෂණ සහිත මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවා තිබෙන අනුකම්පා ලක්‍ෂණය මතින් තීන්දු ගැනීමවත් බැසිල්ගේ නැහැ. ඔහු සෑම තීන්දුවක ම උපරිම වෘත්තීයභාවය අපේක්‍ෂා කරනවා. ඔහුට තීන්දුවක් ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් සාධක හා ඒ හරහා ගන්නා තීන්දුවේ ප්‍රායෝගික ප්‍රතිඵල පමණයි. එය තිබේ නම් ඔහු ඕනෑම තර්කයකට හිස නමන කෙනෙකු බව මා දැක තිබෙනවා. බැසිල්ට ඇතැමුන් නගන චෝදනාවක් වන අනෙත් අයට ඇහුකම් නොදෙනවාය යන කතාව එනවා ඇත්තේ ඔහු ප්‍රායෝගික ප්‍රතිඵලවලින් තොර හිතලු මතවාද බැහැර වෙන තැනට තමන්ගේ සාධක සහිත තර්කය ඉදිරිපත් කිරිම වෙන්න ඇති. වරක් ඔහු අප සමග ප්‍රකාශ කළේ, කැබිනට්ටුවේ යම් යම් තීරණ ගැන විවිධ මතවාද ඉදිරිපත් වුව ද ඒවාට කිසිදු පදනමක් නොතිබෙන තැන තමාගේ පදනම් සහිත හා ප්‍රතිඵල පෙන්වන සුළු අදහස ඉදිරිපත් කළ විට අර මතවාද බැහැර වීම තමා ආධිපත්‍ය යොදනවා යන්න ඇතැමුන් කල්පනා කළ බවයි. එවන් අවස්ථාවල තම තර්කයට වඩා සාධනීය තර්කයක් ඉදිරිපත් වූවා නම් ඒවාට හිස නැමීමට කිසි දිනක පසුබට නොවූ බව ද ඔහු පැවසූවා. මම හිතන්නේ මේ තත්වය තමා බැසිල්කරණය කියල මේ දැනුත් එක එක්කෙනා කතා කරන්නේ.

බැසිල් කියන්නේ සමාගම් සමූහයක CEO කෙනෙක් වගේ හිතල වැඩ කරන කෙනෙක්. ඔහුට අවශ්‍ය ප්‍රතිඵල පමණයි. මහින්ද යුගය තුළ මේ තරම් පැහැදිළි ප්‍රතිඵල පෙන්වන්න හැකි වෙන්නේ බැසිල් නිසා. ඔය බොහෝ මැති ඇමතිවරුන්ට බැසිල් එක්ක හැරෙන්නවත් බැහැ. අදත් ඔය මහින්ද ආණ්ඩුවේ හිටපු බාගෙට බාගයක් මේ ආණ්ඩුවේ ඉඳලත් වැඩ නැත්තේ මෙන්න මේ හේතුව නිසයි. ඔය ශ්‍රිලනිප මන්ත්‍රීවරු තමා බැසිල්ට එදා හොරා කියල ගම්වල මතයක් හැදුවේ. ඒක වුනේ ඇත්තට ම ඔවුන්ට හොරකම් කරන්න බැරි වෙන්න හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ අභිමානය රැකෙන්න ක්‍රමය හදපු නිසයි. උදාහරණයක් විදියට බැසිල් භාණ්ඩාගාරයෙන් අරමුදල් දෙනකොට ඒවා කෙලින්ම ගමට යවන ක්‍රමය හැදුවා. ඉස්සර වුනේ මන්ත්‍රීවරයාගේ අතින් මේවා ගමට යෑම. එතකොට මන්ත්‍රීවරයාට පුළුවන් වුනා කුඩා මන්ත්‍රින් පාලනය කරන්න. හැබැයි මේ ක්‍රමයෙන් ඒක අහිමි වුනා. අන්න එතකොට මැති ඇමතිවරු ගමට කිව්වා බැසිල් හොරා කියල. ඒ අස්සේ ජනිපේ වැනි පක්‍ෂවල අය බැසිල්ට ආර්ථික ඝාතකයා කිව්වා. ඒකෙනුත් රටේ බැසිල් ගැන තිබුණ ප්‍රතිරූපයට හානි වුනා. ඒත් බැසිල් මේවා කාගෙන හිටිය මිසක් ප්‍රතිචෝදනා නගාගෙන එදා මාධ්‍ය ඉස්සරහරට ගියේ නැහැ. ඒත් අද තේරෙනවා ඒ “අර්ථික ඝාතකයා” නිසා රට කොයි තරම් දියුණු වුනා ද කියල. අද අපි මහින්ද යුගයේ වැඩ ලෙස ආඩම්බර වෙන සෑම දෙයක ම පිටුපස්සෙ හිටියේ බැසිල්. ඔහු අර යකා බැඳ ගත්ත වගේ වැඩ කරන කෙනෙක්. ඔහු සමග වැඩ කළ අය මේව දන්නව ඇති.
රටකට ඕනෑ කටකාරයින් නෙමෙයි, වැඩකාරයින්. හැබැයි මහින්ද ආණ්ඩුවේ දුබලතාව තමා කට හා වැඩ යන දෙක සමතුලිත නොවීම. මහින්දල ගැන බැසිල්ලා ගැන බොරු පතුරුවන කොට ඒ ආණ්ඩුවේම අය ඒවට උල්පන්දම් දුන්න මිසක් ඒවාට එරෙහි ව කතා කළේ නැහැ. විශේෂයෙන් බැසිල් ගැන හදපු කතා නිසා බැසිල්ගේ ප්‍රතිරූපය කඩා වැටීම මහින්දගේ පරාජයට විශාල ලෙස හේතු වුනා. මේක උපක්‍රමශීලි වැඩක්. කුමන්ත්‍රණකාරීන් හිතුවේ බැසිල් වැට්ටුවොත් මහින්ද වට්ටන්න පුළුවන් කියල. අදත් ඔය බැසිල්ට ගහන අය කරන්නේ බැසිල්ට ගහන එක නෙමෙයි ඇත්තට ම, දැන හෝ නොදැන ඒ ගහන්නේ මහින්දට.
බැසිල් නිසා මහින්ද ආණ්ඩුව පරාද වුනා කියල අදත් ඇතැමුන් කියනවා. ඇත්තට ම බැසිල් මහින්ද පරාජය කරන්න මොනව ද ක‍ළේ?

1.යුද්ධය කරන්න අවශ්‍ය ආර්ථිකය හදල දකුණ බැලන්ස් කරගත්ත එක වරදක් ද?

2. යුද්ධය කරන්න අවශ්‍ය ආයුධ ගන්න මුදල් සොයා දීම වරදක් ද?

3. යුද්ධයට තීරණාත්මක වූ ඉන්දියාව ද ඒ අතරම ඇමරිකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද කළමනාකරණය කර ගැනීම වරදක් ද?

4. යුද්ධයේ තීරණාත්මක මොහොතක අයවැය පරදවා මහින්ද රජය පරාජය කිරීමට යන විට එජාපයෙන් 17ක් ගෙන ආණ්ඩුව පවත්වාගෙන යෑම වරදක් ද?

බැසිල් කළ වරද පෙන්වා දෙන්න.

* මහින්ද පතිරණ 

“යන අය බැසිල් නිසා එන අය අපි නිසා”

Post Comment