ආකල්ප

යහපාලන මාධ්‍ය නිදහස කතුවරයෙක්ගේ ඇසින්

මාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අන්තර්ජාතික දින සැමරුම ඊයේ දිනයට යෙදී තිබිණි. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) ප්‍රධානත්වයෙන් ඒ වෙනුවෙන් කොළඹ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. එහිදී හෙතෙම ප්‍රකාශ කර තිබුණේ, මාධ්‍ය ප්‍රධානීන් කිසිවකු සම්මන්ත්‍රණයට සහභාගි නොවීමෙන් පෙනීයන්නේ ඉකුත් කාලයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, නිමලරාජන්, අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ, පහරකෑමට ලක්වූ උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත ඇතුළු සිංහල, දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන් ගැන ඇල්මක් ඔවුන් කිසිවකුට නොමැති බවය.

කාරණය අනෙකකි.
මාධ්‍ය නිදහස පාලකයන් විසින් ප්‍රදානය කරනු ලබන්නක් නොව මාධ්‍ය සමාජය විසින් ආරක්ෂා කර ගත යුත්තකි. මාධ්‍ය නිදහස අහුරනු ලබන්නේ පාලකයන් විසිනි. ඒ අන ්කිසිවක් නිසා නොව ජනතා හිතවාදී නොවන සිය පාලනය පිළිබඳ ඇති තතු ජනතාව දැනගන්නා නිසාය. සැඟවීමට, වසන් කිරීමට කිසිවක් නැත්නම් ‘මාධ්‍ය’ට පාලකයන් බිය විය යුතු නැත. මෙරට පමණක් නොව පිටරටවල පවා මාධ්‍ය හා පාලකයන් අතර ඇත්තේ හොඳ හිතක් නොවේ. ඝාතනයට ලක්වන හා තාඩන පීඩනවලට ලක්වන මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව සෑම වසරකම ඉහළ තැනක ඇත්තේ ඒ නිසාය. මේ වසරේදී බංග්ලාදේශයේ හා මෝලටාවේ ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදිනියන් දෙදෙනකු ඝාතනයට ලක්විය.

ලංකාවේ 1948 නිදහසින් පසු ඝාතනයට ලක්වූ තාඩන පීඩනවලට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුව ඉතා දිගය. 88-89 ධවල භීෂණ යුගයේ සටන් වැදුණු දෙපාර්ශ්ව අතින්ම මාධ්‍යවේදීන් ඝාතනයට, හිරිහැරයට ලක්වූ අතර උතුරේ යුද්ධය පැවැති කාලසීමාවේදී මාධ්‍යවේදීහු කිහිපදෙනෙක් ඝාතනයට ලක්වූහ. තවත් කිහිපදෙනකු සිරගත කෙරිණි. අතවරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් ගණන විශාලය. මාධ්‍යවේදීන් එලෙස සැලකුම් ලබද්දී මාධ්‍යද වාරණයට ලක්විය. උතුරේ හා දකුණේ ඇතැම් මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ලවූ අවස්ථාද තිබිණි.

අතීතයට සාපේක්ෂව වර්තමානයේ ‘මාධ්‍ය නිදහස’ රට තුළ තහවුරු වී තිබුණද මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට විවිධ දුෂ්කරතා අත්විඳීමට සිදු නොවනවා නොවේ. පසුගිය කාලයේ වාර්තාකරණයට ගිය මාධ්‍යවේදීන් තිදෙනකු ප්‍රහාරයට ලක්වූ අතර ඉන් ප්‍රහාර දෙකක වගඋත්තරකරුවන් වූයේ හමුදාවේ උසස් නිලධාරියකු හා පොලිසියේ උසස් නිලධාරියෙකි. ප්‍රශ්නය වන්නේ අදාළ ප්‍රහාරවල වගකිවයුත්තන්ට තවමත් නීතියෙන් දඬුවම් හිමි නොවීමය.

වැරැදිකරුවන් – නිවැරැදිකරුවන් පරීක්ෂණවලින් හෙළි කිරීම අවශ්‍ය වන්නේ එවැනි සිදුවීම් යළි සිදුනොවිය යුතු නිසාය.
අගමැතිවරයා ඊයේ පැවති සම්මන්ත්‍රණයේදී මාධ්‍ය ප්‍රධානීන්ට ඇනුම්පද කීවද තෙවසරක් පිරෙන්නට ළංව තිබෙන මෛත්‍රි – රනිල් ආණ්ඩුවට පසුගිය කාලයේ ඝාතනයට ලක්වූ, අතුරුදන්වූ හෝ පහරකෑමට ලක්වූ කිසිදු මාධ්‍යවේදියකුට යුක්තිය ඉටුකර දීමට හැකිවී නැත. කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් නීතිය හමුවට රැගෙන යෑම තබා පරීක්ෂණ තර්කානුකූල අවසානයකට රැගෙන ඒමට ආණ්ඩුව අසමත්ව තිබේ. ලක්ෂ 62ක ජන වරමින් ජනාධිපතිවරණයේදීද මහ මැතිවරණයේදී ද වැඩි ඡන්ද ප්‍රමාණයක් එ.ජා. පෙරමුණට ලැබුණේ හොඳ ජීවන තත්ත්වයක් මෙන්ම නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද සබුද්ධික ජනතාවට අවශ්‍ය වී තිබුණු නිසාය. ඒ යථාර්ථය අමතක කර දැමීමෙන් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට අයහපතක් මිස යහපතක් සිදුවන්නේ නැත.

Post Comment