දේශීය

විල්පත්තුව රැකගන්න විරෝධයක් 14 දා කොළඹ දී…

විල්පත්තු වනාන්තරය සුරැකීම වෙනුවෙන් කරනු ලබන උද්ඝෝෂණයක් පිළිබදව වාර්තාවෙයි.
ඊට පෙරමුණගත් අය විසින් නිකුත් කර ඇති නිවේදනයයි මේ..

විල්පත්තුව වෙනුවෙන් අපි

දිගින් දිගටම විල්පත්තු වනාන්තර පද්ධතිය ආශ්‍රිතව සිදුවන මහා වනාන්තර විනාශයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2017 දෙසැම්බර් 14 වන බ්‍රහස්පතින්දා සවස 2.00 ට, කොළඹ 07 විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ බුදුපිළිමය ඉදිරිපිට දී ආරම්භ වේ.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකාවේ සියලු නීති රීති උල්ලංඝනය කරමින් උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතව දැවැන්ත වනාන්තර ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියක නිරත වී සිටී. අපගේ දීන දේශපාලකයින්ගේ අනුබලයද සමග විශාල වශයෙන් විදෙස් ආධාර ලබා ගනිමින් ජසිම් සිටි, තුර්කි සිටි, කටාර් සිටි වැනි විවිධ අරාබි රාජ්‍යයන්ගේ සහ එම රට වල නායකයින්ගේ නම් වලින් ඉදි වන මේ දැවැන්ත ජනපද නිසා ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතීන්ට සිදු වන හානිය මිල කළ නොහැක. ඒ අතුරින් ලෝක ස්වභාව උරුමයක් වූ විල්පත්තු වනාන්තර පද්ධතිය තුල සිදු කෙරෙන වන විනාශය අති දැවැන්ත ය.

 

ශ්‍රී ලංකික අප සැමගේ ස්වභාවික හා ඓතිහාසික උරුමයක් වන විල්පත්තු වනාන්තර පද්ධතියේ වනාන්තර මෙලෙස විනාශ කිරීමට එරෙහිව අත්වැල් බැඳ ගැනීමට පරිසර හිතකාමී දේශප්‍රේමී ශ්‍රී ලංකික ඔබ සැමට ආරාධනා කර සිටිමු.

මෙය දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාගේ සටනකි. පක්ෂ, පාට, ජාති, ආගම් භේද වලින් තොරව ඔබ සියලු දෙනාගේ සහය අපගේ සුන්දර මව්බිමේ ස්වභාවික උරුමය මතු පරම්පරාවන් සඳහාත් සුරක්ෂිත කිරීම උදෙසා අත්‍යවශ්‍යම මොහොත මෙයයි.

නිලක්ෂ රත්නායක
ලේකම්

විල්පත්තුව සුරකිමු
52, දොස්තර ඊ.ඒ. කුරේ මාවත, කොළඹ 06.

දුරකථන: 0763 72 73 93
ඊමේල්: wilpattuwind@gmail.com

Post Comment