විදෙස්

වොෂිංටන් අධිවේගී දුම්රිය අනතුරකින් 06ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ වොෂිංටන්හි සිදුවූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අනතුරට ලක්වුයේ සියැටල් සිට පෝට්ලන්ඩ් දක්වා ගමන් කළ දුම්රියකි. අනතුරෙන් 77 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය සංඛ්‍යාව 03ක් බවය. ඇම්ට්‍රැක් දුම්රිය සේවාවේ සියැටල්හි සිට පෝට්ලන්ඩ් දක්වා ගමන් කළ දුම්රියක් මෙසේ අනතුරට ලක්ව ඇත. දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන මහා මාර්ගයකට ඇඳී ගොස් තිබෙනවා.

දුම්රිය පීලි පැනීමත් සමග එහි මැදිරි දුම්රිය මාර්ගයට පහතින් පිහිටි අධිවේගී මාර්ගය මතට කඩා වැටී ඇත.
අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථ ගණනාවක් දුම්රිය මැදිරිවලට යටව ඇති බව බලධාරීහු පවසති.

මෝටර් රථ තුළ ගමන්ගත් පිරිසක් ද තුවාල ලබා ඇති බව බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

පෝට්ලන්ඩ් සහ සියැටල් අතර ධාවනය වෙමින් තිබියදී දුම්රිය අනතුරට පත්ව ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 07.30 පමණය.

දුම්රිය අනතුරට පත් වීමට පෙර පැයට කිලෝමීටර 130 පමණ වේගයෙන් ධාවනය වී ඇත.