ව්‍යාපාරික

බැඳුම්කර කොමිසම් වාර්තාවේ ඉරණම සැකසහිතයි

පසුගිය දා ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන වෙත බාරදුන් බැඳුම්කර කොමිසමේ වාර්තාවට අත්වන ඉරණම පිළිබඳව දැනටමත් සැකසංකා මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (2018 ජනවාරි 010 කොළඹ දී පැවැසීය.

ජනාධිපතිවරයා සතු වගකීම වන්නේ පළමු කොටම බැඳුම්කර වාර්තාව ජනතාවට තොරතුරු ලබාගත හැකි පරිදි රටට ඉදිරිපත් කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී පැවැසීය.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත් කළ බවත්, එම කොමිසන් සභාව තුළ සාකච්ඡාවට ලක්වූ කරුණු මාධ්‍ය මඟින් වාර්තා කළ බවත්, අවසානයේදී දෙසැම්බර් 30 වැනිදා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව වාර්තාව ජනාධිපතිවරයා අතට පත් වු බවත් පැවසු අනුර කුමාර දිසානායක මහතා, එම වාර්තාව ජනාධිපතිවරයා පමණක් සතු වාර්තාවක් නොවන බව ද පැවසීය.

ජනතා මුදලින් සියලු දේ සිදු කරන බැවින් එය දැන ගැනීමේ අයිතියක් ජනතාව සතු වන බව ද පැවසු දිසානායක මහතා, ජනාධිපතිවරයාට එම වාර්තාව තම සන්තකයේ තබා නොගෙන රටට හෙළි කරන ලෙසට ද බල කරන බව ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.

“ දෙවනුව ජනාධිපතිවරයා කළ යුත්තේ ජනාධිපති කොමිසමේ නිර්දේශ කි‍්‍රයාතමක කිරීමයි. අනිවාර්ය ලෙස මෙම වාර්තාවේ නිර්දේශ ගණනාවක් ඇතුළත්ව තිබිය යුතුයි. එම නිර්දේශයන්ට අනුව නීතිපතිවරයාට යොමුකර චූදිතයින්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැතිව මෙම වාර්තාවත් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතැබිය යුතුයි.

මෙතෙක් කල් අපේ රට තුළ සිදුවූයේ එක් වංචාවක් මඟින් තවත් වංචාවක් යට යෑමත් එක් කොමිෂන් වාර්තාවක් මගින් තවත් කොමිෂන් වාර්තාවක් යට යෑමත් එක් වංචනිකයෙක් මඟින් තවත් වංචනිකයෙක් යට යෑමත්ය. මෙතෙක් කල් අපේ රට තුළ රඟ දැක්වූයේ මේ නාටකයයි.
ඒ වගේම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී බරපතල මූල්‍ය වංචා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසමක් පත්කළා.

එහි කාලය දෙසැම්බර් 03වැනිදා අවසන් වෙලා තිබෙනවා. එම කොමිෂන් සභාවේ කාලය තුළ මහජන දේපොල වංචා කිරීම, අයථා පරිහරණය පිළිබඳව කරුණු රැුසක පරීක්‍ෂණ පැවැත්වුණා. එම පරීක්‍ෂණවලින් 17ක වාර්තා මේ වනවිටත් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා.

අයි.ටී.එන් ආයතනයේ සිදුවූ ලක්‍ෂ 1100ක මූල්‍ය අවභාවිතය පිළිබඳ වාර්තාව 2016 මැයි මාසයේදීත් ඇවන්ගාඞ් ගනුදෙනුව පිළිබඳව පරීක්‍ෂ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේදීත් කල් ඉකුත් වූ පුපුරණ ද්‍රව්‍ය ගෙන්වීම නිසා ඇතිවූ ලක්‍ෂ 2,000ක පරීක්‍ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේදීත් ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම පිළිබඳව වාර්තාව 2017 ජනවාරි මාසයේදීත් බැසිල් රාජපක්‍ෂ ගුවන්යානා පරිහරණය පිළිබඳව වාර්තාව ඇතුළු වාර්තා 17ක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා.

නමුත් එම වාර්තාවල ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවද කියලා රට දන්නේ නැහැ. පැරණි වාර්තාවලට සිදුවූ ඉරණම මෙම වාර්තාවලටත් අත්පත් වෙලා තිබෙනවා. අපි පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් කළා මෙම වාර්තා පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කරන්න කියලා. අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් එම වාර්තා ඉදිරිපත් කළේ නැහැ. මේ ආකාරයටම මහබැංකු බැඳුම්කර පිළිබඳව කොමිසන් වාර්තාවටත් මේ ඉරණමම අත්වේවිදැයි බරපතල සැකයක් අපිට තිබෙනවා. එනිසා අපි ජනාධිපතිවරයාට නැවතත් බලකර සිටිනවා මෙම වාර්තාව රටට ඉදිරිපත් කරන්න කියලා. “

 

Post Comment