විශේෂාංග

බැඳුම්කර කොමිසම් වාර්තා ගැන මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ ප්‍රකාශය කුමක් වෙයිද ?

මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශ පිළිබඳව ලබන බදාදා (2018 ජනවාරි 03) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පවසන්නේ, දෙසැම්බර් 30 වෙනි ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ විමර්ශන කොමිසමේ වාර්තාව පළාත් පාලන මැතිවරණවලට පෙරාතුව ප්‍රකාශයට පත් නොවනු ඇතැයි අවධානය පළවෙමින් තිබියදීය.

කොමිසම මගින් දේශපාලනඥයන් නම දෙනෙකු ඇතුළු ප්‍රධාන චුදිතයන් කිහිප දෙනෙකුම නම් කරමින් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වුවත් එම වාර්තා සනාථ කළ නොහැකි බව ද පුවත්පත පවසයි.

වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් ඉල්ලීම් මතුවෙමින් පැවතියත්, පළාත් පාලන මැතිවරණය අවසන් වන තුරු එය ප්‍රසිද්ධියට පත් නොකෙරෙනු ඇතැයි අවධානය පළවෙමින් තිබෙන බව ද ජනමාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජනවාරි 27 වෙනි දින පත් කරන ලද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම 2015 පෙබරවාරි 01 වන දා සිට 2016 මාර්තු 31 දක්වා කාලයට අදාළ බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ලද අතර කොමිසමේ නිගමන සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරේ.

අගමැති රනිල් වික්‍රමසිංහට ද කොමිසම හමුවට පැමිණ සාක්ෂි දීමට සිදුවීම ද එහි සුවිශේෂී අවස්ථාවක් විය.

ඒ හැරුන විට හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු කැබිනට් ඇමැතිවරුන් කීපදෙනෙක් ටද  සිය පදවිහැරයාමට බලකෙරුණ අතර, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ද කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්හ.

Post Comment