සංස්කෘති

පද්මාවතියට අවසර ලැබෙයි

මතභේදයට තුඩු දී පැවති ‘පද්මාවතී’ බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා ඉන්දීය චිත්‍රපට අනුමත කරන මධ්‍යම මණ්ඩලයේ (CBFC) අවසර ලැබුණි.

ඒ සමඟ ‘පද්මාවතී’ නැරඹීමට බලා සිටි බොලිවුඩ් සිනමාලෝලීන්ගේ සිහිනය ඉක්මනින් සැබෑ වනු ඇත.

සන්ජේ ලීලා භන්සාලි (Sanjay Leela Bhansali) විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘පද්මාවතී’ දාහතර වෙනි සියවසට අයත් මුඛ පරම්පරාගත වෘත්තාන්තයක් පාදක කර ගනිමින් නිමවුණ සිනමා සිත්තමකි.

අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලි ‘පද්මාවතී’ සිනමාපටයේ තිර කතාව ලියා ඇත්තේ මලික් මුහම්මද් ජයසි කවියාගේ “පද්මාවත්” කාව්‍යය (1540) මගින් ලද ආභාෂය අනුව යමිනි.

ඉන්දීය පුරාවෘත්තවල පද්මාවතී රැජින “රානි පද්මිනී” යනුවෙන් ද හඳුන්වනු ලැබ ඇත.

දීපිකා පදුකෝන්, සහ රන්වීර් සිං ‘පද්මාවතී’ සිනමා වෘත්තාන්තයේ ප්‍රධාන චරිතවලට පණ පොවති.

එම සිනමා නිර්මාණය අභියෝගයකට මුහුණ දීමට පටන්ගත්තේ හින්දු “රාජ්පුත්’කණ්ඩායම් ඊට එරෙහිව නැගී සිටීමත් සමඟය.

‘පද්මාවතී’ රැජින මේ සිනමා වෘත්තාන්තයේ ප්‍රධාන භූමිකාව වන්නීය.

ඇය රාජස්ථාන් ප්‍රාන්තයේ රණකාමී වංශයක් වන ‘රාජ්පුත්’වරුන්ගේ ගෞරවය ලබන මිත්‍යාමය වීර චරිතයකි.

රාජ්පුත් සහ හින්දු කණ්ඩායම් ‘පද්මාවතී’ චිත්‍රපටයට එරෙහිව නැගී සිටියේ එකී අභිමානවත් චරිතයට දීපිකා පදුකෝන් පණ දීම එම පරමාදර්ශී චරිතය කෙලෙසීමක් යයි පවසමිනි.

ඉන්දීය ඉතිහාසයේ මධ්‍යතන යුගයේ සිදු වූ මුස්ලිම් ආක්‍රමණ සමඟ බිහි වූ දිල්ලි සුල්තාන් අධිරාජ්‍ය පාලනය තුළ බලය අල්ලා ගත් තුර්කි-ඇෆ්ඝන් සම්භවයක් සහිත අලවුද්දීන් ඛිල්ජි (Alauddin Khilji) අධිරාජයා සහ එවක රාජස්ථානයේ සිටියේ යැයි පැවසෙන ‘පද්මාවතී’ රැජිනගේ චරිත තේමා කර ගනිමින් එහි තිර පිටපත රචනා කරනු ලැබ ඇත.

පෞරාණික වෘත්තාන්තවලට අනුව අලවුද්දීන් ඛිල්ජි අධිරාජයා රාජස්ථානය (පැරණි හැඳින්වීම රාජපුතානා) ආක්‍රමණය කරන ලද්දේ පද්මාවතී රැජිනගේ රූපශ්‍රියාව පිළිබඳව දැන ගැනීමෙන් අනතුරුව ඇය ලබා ගැනීම සඳහාය.

‘රාජපුතානා’ ආරක්ෂක භටයෝ සිය ‘චිතෝර්’ බලකොටුව බිඳ වැටීමට පෙර මරණය තෙක්ම සටන් වදිමින් සිටි නමුත් අවසානයේ අත් වූ පරාජයෙන් අනතුරුව පද්මාවතී රැජින ආක්‍රමණිකයාගේ කාම ගොදුරක් නොවී සිය ගෞරවය රැක ගැනීම් වස් බලකොටුවේ සිටි සෙසු කාන්තාවන් ද සමඟ සියදිවි හානිකර ගත් බව පුරාවෘත්ත මගින් පැවසෙයි.

“සිම්හලද්වීපයේ පද්මාවතී”

ඊට සමාන චරිතයක් ශ්‍රී ලංකාවේ නූර්ති ඉතිහාසයේ සමාරම්භක පුරෝගාමියකු වන චාර්ල්ස් ඩයස් සූරීන්ගේ “පත්මාවතී” නූර්තියේ ද දක්නට ලැබෙයි.

මලික් මුහම්මද් ජයසි කවියාගේ “පද්මාවත්” කාව්‍යය ආරම්භ වන්නේ “සිම්හල ද්වීප”( kingdom of Simhala-dvipa) රාජධානිය පිළිබඳ අලංකාර වර්ණනාවකිනි.

කවියා දකින “සිම්හල ද්වීපයේ” පද්මාවතිය දෙවඟනකටත් වඩා සුරූපී එසේම සෑම අයුරකින්ම පරිපූර්ණ කාන්තා රත්නයකි.

‘පද්මාවත්’ කාව්‍යය අනුව ‘සිම්හල ද්වීපයේ’ පද්මාවත් නම් කුමරිය ඉන්දියාවේ ‘රාජ රතන් සිං ( Raja Ratan Singh) රජතුමා සමඟ විවාහ වන්නීය.

චාර්ල්ස් ඩයස් ශූරීන්ගේ පද්මාවතී නූර්තියේ එන “දැක්කොත් පත්මාවතී -ආලේ නොකර බැරී” ගායනයෙන් වර්ණනා කරනු ලබන්නේ ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ එන පද්මාවතියගේ රූප ශ්‍රියාවය.

එහෙත් ඉන්දියානු වෙනත් පුරාවෘත්ත අනුව ‘පද්මාවතී” රැජින සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධයක් නොමැත.

කෙසේවුවද, එම පෞරාණික වෘත්තාන්ත සබඳතා සැලකිල්ලට ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් සන්ජේ ලීලා භන්සාලි, තම සිනමාපටයේ ‘පද්මාවතී’ චරිතය රඟන දීපිකා පදුකෝන් වෙනුවෙන් නිර්දේශ කරන ලද කාන්තා ඇඳුම් විලාසිතා ශ්‍රී ලාංකික ඌරුව අනුව නිර්මාණය කරන ලද ඒවා බව ද පැවසේ.

පතිවත වෙනුවෙන් සති පූජාවක්

‘අවධි'(Awadhi language) භාෂාවෙන් රචිත වෘත්තාන්තයක් අනුව පද්මාවතී රැජින, අලා උද්දීන් ඛිල්ජි අධිරාජයා සමඟ සටනේ දී මරණයට පත් සිය සැමියා වෙනුවෙන් ඔහුගේ චිතකයට පැන ‘සති’ පූජාවේ යෙදෙමින් සිය ගරුත්වය රැක ගන්නීය.

ඉන් අනතුරුව අද දක්වා පද්මාවතී රැජින, කාන්තාවක් සිය ගරුත්වය රැක ගත යුතු ආකාරය සංකේතවත් කරන පවිත්‍ර චරිතයක් ලෙස ‘රාජ්පුත්’ සමාජයේ බුහුමන් ලබන්නීය.

එවැනි පසුබිමක් යටතේ සටන්කාමී හින්දු රාජ්පුත්වරුන් ‘පද්මාවතී’ සිනමාපටයට විරෝධය පළකළ අතර එම පසුබිම තුළ සිනමා වෘත්තාන්තය සිනමාලෝලීන් ඉදිරියට ගෙන ඒම ගැටලුවක් බවට පත්ව තිබුණි.

මේ වසර මුලදී ‘පද්මාවතී’ රූගත කෙරෙමින් පැවති දර්ශන තලයකට කඩා වැදුණ කණ්ඩායමක් ඊට බාධා කළ අතර, අධ්‍යක්ෂ භන්සාලිට කම්මුල් පහරක් එල්ල කරන ලද බවක් ද වාර්තා විය.

සන්ජේ ලීලා භන්සාලිගේ පඹයන් පුළුස්සමින් ඔහු මරා දමන බවට තර්ජනය කළ රාජ්පුත්වරු, දීපිකා පදුකෝන්ට දිය යුතු දඬුවම ලෙස නිර්දේශ කරන ලද්දේ, පංච තන්ත්‍රයේ එන කතා වස්තුවක පරපුරුෂ සේවනයේ යෙදුණ කාන්තාවකට දුන් දඬුවමක් අනුගමනය කරමින් දීපිකාගේ ද නාසය කපා දැමීමයි.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය යටතේ ඇති රාජස්තාන්, උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ඇතුළු ඉන්දීය ප්‍රාන්ත කීපයකින් “පද්මාවතී” එරෙහි උද්ඝෝෂණ වාර්තා විය.

රාජස්ථාන් මහඇමතිනි වසුන්දරා රාජේ ප්‍රශ්නයට මැදිහත් වෙමින් ප්‍රජාව අතර පවතින සංවේදී ආකල්පවලට හානියක් නොවන මට්ටමින් අවශ්‍ය වෙනස්කම් සිදු කෙරෙන තෙක් ‘පද්මාවතී’ ප්‍රදර්ශනය නතර කරන මෙන් ඉල්ලීමක් කර තිබුණි.

රාජස්ථානයේ පෞරාණික රජ පවුලට නෑකම් සහිත කණ්ඩායම් ද ‘පද්මාවතී’ චිත්‍රපටය තිරගත නොකරන මෙන් ඉල්ලා සිටියහ.

ඔවුන්ගෙන් එක් තැනැත්තකු වෙන මහේන්ද්‍ර සිං අදහස් දක්වමින්, චිත්‍රපටයේ දැක්වෙන පද්මාවතී රැජිනගේ භූමිකාව කලාව මෙන්ම ඉතිහාසය විකෘති කරන ප්‍රෝඩාවක් ලෙස විග්‍රහ කර තිබුණි.

එහෙත් ‘පද්මාවතී’ සිනමා වෘත්තාන්තයේ නිෂ්පාදකයෝ සිය කලා කෘතියෙහි සරාගී දර්ශන ඇතුළත් බවට හින්දු කණ්ඩායම් සහ රාජ්පුත් කුලීනයන්ගේ සංවිධානයක් එල්ල කරන චෝදනා බැහැර කළහ.

මෙම චිත්‍රපටය සඳහා විශාල විරෝධයක් පැතිර ගියේ පදනමක් නොමැති දූෂමාණ කටකතා නිසා බව අධ්‍යක්ෂ භන්සාලි පවසයි.

එම කටකතා අනුව කියැවෙන්නේ අලා උද්දීන් ඛිල්ජි අධිරාජ චරිතයට පණ පොවන රන්වීර් සිං සහ චිත්‍රපටයේ පද්මාවතිය වන දීපිකා පදුකෝන් ආලයෙන් වෙලී සිටින දර්ශන චිත්‍රපටයට ඇතුළත් බවය.

මේ අතර අධ්‍යක්ෂවරයාට සහ පද්මාවතී චරිතයට පණදෙන දීපිකා පදුකෝන්ට එල්ල වෙමින් තිබුණ තර්ජන හෙලා දකින්නෝ චිත්‍රපටය අනුමත කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියහ.

‘බොලිවුඩ්’ චිත්‍රපට නිෂ්පාදකයාට සහයෝගය පළකරමින් ප්‍රකාශයක් කළ ‘අලිගාර්’ මුස්ලිම් සරසවියේ ඉතිහාසඥයකු වන ඉර්ෆාන් හබීබ් “පද්මාවතී චරිතය සැබෑ ඓතිහාසික චරිතයක් නොව සංකල්පීය නිර්මාණයක්” බව පෙන්වා දුන්නේය.

අලා උද්දීන් ඛිල්ජි අධිරාජයා රාජපුතානාහි “චිතෝර්” බලකොටුව බිඳ හෙළීම ඓතිහාසික සත්‍යයක් වුවත් එම යුගයට අයත් “පද්මාවතී” නම් රාජකීය චරිතයක් පිළිබඳව සඳහනක් නොමැති බව ඉර්ෆාන් හබීබ් පවසයි.

‘පද්මාවතී’ තිරගත කරනු ලැබීම නතර කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු ලැබීය.

එසේම අලහබාද් මහාධිකරණය ද එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළේය.

එහෙත් එය තිරගත කිරීමට නම් ඊට චිත්‍රපට අනුමත කිරීමේ ඉන්දීය මධ්‍යම මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුව තිබුණි.

අභියෝගවලට මුහුණ දෙමින් ගෙන ගිය දීර්ඝ අරගලයකින් අනතුරුව පද්මාවතී චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය අනුමැතිය දැන් ලැබී ඇත.

Post Comment