දේශීය

අලි නිසා ඇතිවූ සියලු ප්‍රශ්න ළගදීම නිමා කරන බව ජනපති සිරිසේන කියයි

වනජීවි දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඒ අනුව අද ප‍්‍රදේශ රැසක ජනතාවට මුහුණදීමට සිදුව ඇති වන අලි ගැටලුවට ඉදිරියේදී විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (2017 දෙසැම්බර් 31) පොළොන්නරුව වෙහෙරගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟය හේතුවෙන් අලි වැට ඉදිකිරීම ඇතුළු කටයුතු පසුගිය කාලය තුළ ප‍්‍රමාද වී තිබූ අතර ඉදිරි වසරේ සිට එම කටයුතු විධිමත් අයුරින් සිදු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනහමුව ඇමතූ ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙතෙක් කි‍්‍රයාත්මක සංවර්ධන කටයුතු සේම ග‍්‍රාමීය සංවර්ධනයේ සුවිශේෂී පරිවර්තනයක් නව ප‍්‍රාදේශීය සභා ස්ථාපිතවීමත් සමග සිදුකරන බවයි.

රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති අතර ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බලා එය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම පළාත් පාලන ආයතන සඳහා අලුතින් පත්වන නියෝජිතයින්ගේ වගකීම බව ද පැවසීය.

රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් පසුගිය වසර තුන තුළ රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව සඳහන් කළ ඔහු වී වලට මෙතෙක් නොලැබුණු ඉහළ මිලක් ගොවි ජනතාවට හිමිවූයේ වත්මන් රජය යටතේ බව ද කියා සිටියේය.

ඉන් අනතුරුව දිඹුලාගල අලවතුකුඹුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහා ද ජනාධිපතිවරයා සහභාගී විය.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබූ අතර අලවතුකුඹුර ප‍්‍රදේශයේ පැවති ජන හමුව සඳහා එම කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ පුලස්ති ඉන්දික ද ජනාධිපතිවරයාට ගරු කිරීමක් වශයෙන් එම වේදිකාවේ අසුන්ගෙන සිටීම විශේෂත්වයක් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ජයන්ත මාරසිංහ, එන්.වී. සමන්ත යන අය ද මේ ජන හමු සඳහා එක්ව සිටියහ.

Post Comment