ආකල්ප

දකුණේ හා උතුරේ අන්තවාදීන් පිරිසක් නව ව්‍යවස්ථාවට විරුද්ධයි

එදා වගේ නෙවෙයි අද අලුත් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා රට තුළ. අද ප්‍රධාන පක්ෂ දෙකම මේ රටේ ආණ්ඩු කරනවා. දෙමළ ජනයා නියෝජනය කරන පක්ෂ මෙම ව්‍යවස්ථා වෙනසට කැමැතියි. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂත් මේ පිළිබඳව බලන්නේ ඉතා සාධනීය විදියටයි. ඒ අනුව පාර්ලිමේන්තුව ඒකමතිකව යෝජනාවක් හැදුවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සෑදීමට නොවේ. පිහිටුවනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්. මෙය සියලුම මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක්. එය පාර්ලිමේන්තුව තුළමයි රැස්වෙන්නේ. එයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමට බලයක් නැහැ. කෙටුම්පතක් නිර්මාණය කිරීමට පමණයි පුළුවන්.

මම දැක්කා විජයදාස රාජපක්ෂ මහත්මයා කියනවා මේ ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධී වැඩක් කියලා. එතුමා හිටපු අධිකරණ ඇමැතිවරයෙක් වගේම ජනාධිපති නීතිඥවරයෙක්.

පාර්ලිමේන්තුවට මේ යෝජනාව ඉදිරිපත් කරපු එක් යෝජකයෙක් තමයි එතුමා. එතුමා 2016දී මෙයට
පක්ෂව කතා කළා. මේ සඳහා විශේෂඥයන් පත් කළේ ඒකමතිකවයි. අනු කමිටු පත්කළෙත් ඒකමතිකවයි. මෙහෙයුම් කමිටුව පත්කළේත් ඒකමතිකවයි. එහි සාමාජිකයන් පත් කළේත් ඒකමතිකවයි. අනුකමිටුවල සභාපති ධුරද එක් එක් පක්ෂවලට බෙදලා තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ සභාපති ධුරය දරන්නේ බන්දුල ගුණවර්ධන මහතායි.
මෙහෙයුම් කමිටුව තීරණය කළා කාරණා 6ක් පිළිබඳව. රාජ්‍යයේ ස්වරූපය, විධායකයේ ස්වරූපය, බලය බෙදාහැරීම පිළිබඳ ස්වරූපය, මැතිවරණ ක්‍රමය, ආගමික අංශය සහ ඉඩම් ඒ කාරණායි. මේ පිළිබඳව සාකච්ඡාවේදී බොහෝ කාරණා පිළිබඳ එකඟත්වයන් තිබුණා. නමුත් හුඟාක් පක්ෂ උත්සාහ කෙරුවා තමන්ගේ මතයන් ප්‍රකාශ කරන්න. ඒ අවස්ථාවක් ලැබුණු නිසයි. අද ඉඩකඩක් තිබෙනවා නම්‍යශීලී ආකාරයකට මස් රාත්තලම ඉල්ලන් නැතිව එකඟතාවකට එන්න.

අපි කාගෙන්වත් පරමාදර්ශී ව්‍යවස්ථාවක් හැදෙන්නේ නැහැ. නමුත් ඉඩකඩක් තිබෙනවා එකඟතාවකට පැමිණෙන්න.
කාරණා දෙකක් පිළිබඳව මා මේ වෙලාවේ කතා කරන්න අවශ්‍යයි. එකක් තමයි බලය බෙදාහැරීම පිළිබඳ කාරණාව. මේ යෝජනාවලියට ඇතුළත් කරලා තිබෙන බොහෝ දේවල් දකුණේ මහ ඇමැතිවරුන් හත්දෙනා ඉදිරිපත් කරපු අදහස් අනුවයි සකස් කරලා තිබෙන්නේ. ඒ හත්දෙනාම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයයි.

අප රටේ බලය බෙදාහැරීමේ ක්‍රියාවලියට අවුරුදු 30ක් ගතවෙනවා මේ වන විට. අවුරුදු 30ක අත්දැකීම් මොනවාද? ඒ අනුවයි මේ කටයුතු කරලා තිබෙන්නේ. ඔවුන් මෙය ජාතික ගැටලුවට විසඳුමක් හැටියට පමණක් බලන්නෙ නැහැ. තමන්ගේ පළාත් දියුණු කරගැනීම වෙනුවෙන් සංවර්ධනයේ මෙවලමක් විදියට පළාත් සභා පාවිච්චි කරන්නේ කොහොමද කියලයි ඔවුන් බලන්නේ.

ඔවුන් කියන්නේ සමගාමී ලැයිස්තුව අයින් කරන්න කියලයි. නමුත් කමිටුව සිතන්නේ සමගාමී ලැයිස්තුව තිබිය යුතුයි කියලයි.
සෑම ආණ්ඩුවක්ම උත්සාහ කරලා තියෙන්නේ දුන්නු බලය ආපසු ගන්නයි. බලය ආපසු ගන්නවා නම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. නමුත් අපිට එහෙම අත්දැකීමක් නැහැ. අපි දන්නවා ජාතික ප්‍රවාහන
කොමිෂන් පනත කියලා පනතක් තිබෙනවා. ව්‍යවස්ථාවේ කියනවා පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පුළුවන් කියලා තමන්ගේ බස් සේවාවන් ඇති කරගන්න. එය 13 වැනි සංශෝධනයේ තිබෙන දෙයක්. නමුත් ජාතික ප්‍රවාහන කොමිෂන් පනතේ එහෙම දෙයක් කියලා නැහැ.

ජාතික ප්‍රතිපත්ති සෑදීමට ව්‍යවස්ථාදායකයට බලය තිබෙනවා. ඒ අනුව පළාත් සභා වැඩකටයුතු කළ යුතුයි කියන නීතියයි තිබෙන්නේ. නමුත් අත්දැකීම තමයි ජාතික ප්‍රතිපත්ති මුවාවෙන් මහ ඇමැතිවරුන්ටත් උඩින් ගිහින් නිලධාරීන් ඒ නියෝග අනුමත කරන තත්ත්වයක් පැවැතීම. මෙවැනි ප්‍රශ්න මහ ඇමැතිවරුන්ට තිබෙනවා. ඒ කියන්නේ දෙන බලය ඔවුන්ට හරි විදියට හදලා දෙන්න කියන දෙය. ජාතික ප්‍රතිපත්ති හදනවාට කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. ඔවුන් කිව්වේ අපිවත් සම්බන්ධ කරගෙන ඒවා හදන්න කියලයි. පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන් පළාත් සභා අකැමැති වුණත්. ඒ 2/3ක් තිබෙනවා නම් පමණයි. ඒ නීතිවලින් හදන බලය නැවත ගන්න එපා, ඒ බලය ක්‍රියාත්මක කරන්න කියලයි ඔවුන් කියන්නේ. එහෙම කියන්නේ පළාත් මහ ඇමැතිවරුයි.

ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් විශාල කතාවක් යනවා මේ වෙනකොට. 13 වැනි සංශෝධනය යටතේ දැනුත් එම ධුරය නාමිකයි. එක බලයයි වෙනස් කරනවා කියලා කියන්නේ. ඒ තමයි පළාත් රාජ්‍ය සේවා කොමිසමේ තීන්දු අභියාචනයකින් වෙනස් කිරීමේ බලයක් ආණ්ඩුකාරවරයාට තිබුණා. ඒ බලය ස්වාධීන කරන යෝජනාවක් තමයි ගෙනැත් තිබෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුකාරවරයා පත්කරන රාජ්‍ය සේවා කොමිසමක් ඇති කරන යෝජනාවක් ලෙසත් එය හැඳින්විය හැකියි.

මේක කවුරුහරි 13 ප්ලස් කියලා කියනවා නම් ප්ලස් එකක් තිබෙනවා.

එය අතිවිශාල ප්ලස් එකක් නෙවෙයි. නමුත් 13න් මතු වූ ගැටලුව විසඳන්නට යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා මෙහි.
මම විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට පක්ෂ වූ කෙනෙක්. එය පාර්ලිමේන්තුවට වගකියන දෙයක් විය යුතුයි. ඒ පිළිබඳ යෝජනා 3ක් තිබෙනවා. ඔහු පත්කරන්නේ කෙසේද කියන එක පිළිබඳව එකක්. සාමාන්‍ය ක්‍රමයට ඒ කියන්නේ මැතිවරණයෙන් පස්සේ කාටද වැඩිම බලය තිබෙන්නේ කියන දෙය. අනෙක් දෙය පක්ෂ විසින් කලින් නම් කිරීම. අනෙක් ක්‍රමය තමයි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් පත් කරන ගමන් අගමැතිවරයා ඍජුව පත්කිරීම. ඒ යෝජනාව නිසයි මේ සමහරු විධායක අගමැති ක්‍රමයක් ගැන කතා කරන්නේ. විධායක අගමැති ධුරයක් කියලා දෙයක් මේ ලෝකේ කොහේවත් නැහැ. 47 ව්‍යවස්ථාව තියෙන කාලේ විධායක අගමැති ධුරයක් ගැන කතා කළාද. 72 ව්‍යවස්ථාවේදී එහෙම කතා කළාද? සිරිමාවෝ මැතිනියට, ඩඩ්ලි සේනානායක මහත්තයාට විධායක අගමැතියි කිව්වාද? එහෙම ධුරයක් නැහැ. වාර්ෂික විසර්ජන පනත දෙවරක් පරාජය වුණොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවකුයි තිබෙන්නේ. මම නැවත නැවතත් කියන්නේ විධායක අගමැති ධුරයක් කියලා දෙයක් නැහැ කියලයි.

මේ ව්‍යවස්ථාවෙන් මතුවෙන තව දෙයක් තමයි පුද්ගලයන් දිහා බලලා මේ ව්‍යවස්ථාව හදනවා කියන දෙය. සමහරු කියනවා මේ බලය දෙන්න යන්නේ රනිල් වික්‍රමසිංහට කියලා. මේ වාර්තාවේ නැතත් බොහෝම පැහැදිලි එකඟත්වයක් තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ ඔහුට තිබෙන බලතල ඒ අතරතුර ව්‍යවස්ථාවක් ආවත් 2020 වෙනකම් වෙනස් වන්නේ නැහැ කියලා.

ව්‍යවස්ථාව කියන්නේ මේවා විතරක් නෙවේ. තව බොහෝ දේවල් තිබෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටුවක් තිබෙනවා. මහින්ද සමරසිංහ ඇමැතිවරයා ඒ වෙනුවෙන් හොඳ නායකත්වයක් ලබා දුන්නා. එහි තිබෙනවා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට සීමා නොවී සමාජ අයිතිවාසිකම් පිළිබඳව කතිකාවකට ඒම. අද ලෝකයේ තිබෙන නව ප්‍රවණතාවන් ඒවායි.

ස්ත්‍රී අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, පුරවැසියන්ගේ හා දුබලතා තිබෙන අයගේ සහ පරිසරය පිළිබඳ අයිතිවාසිකම් එයට ඇතුළත්.

අපිට ඕන පරමාදර්ශී ව්‍යවස්ථාව අපිට හදාගන්න වෙන්නේ නෑ. ඒක කවුරුත් දන්නවා. නමුත් අපිට අද කරන්න පුළුවන් දේ අපි කළ යුතුයි. ඒ සඳහා නම්‍යශීලී විය යුතුයි. අද ආණ්ඩුවේ වගේම විරුද්ධ පක්ෂයේත් සහයෝගය මේ සඳහා තිබෙනවා. දකුණේ සහ උතුරේ අන්තවාදීන් පිරිසක් මීට විරුද්ධ වී සිටිනවා. මේ කාර්යය කරගන්න බැරි වුණොත් ශක්තිමත් වෙන්නේ ඔවුන්වයි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වූ ‘අලුත් ව්‍යවස්ථාවක් රටට ඕනේද’ නම් විවෘත සංවාදයේදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කළ දේශනය ඇසුරිනි.’

Post Comment