ආකල්ප

රවී බිල්ලට දී අගමැති හා සමීපතමයන් බේරන්නට හැම උත්සාහයක්ම ගැනීම ජුගුප්සාවකි

බැදුම්කර මහ මොළ කරුවන්ට වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ කිසිදු දඬුවමක් ලැබෙනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඉතා ඉක්මනින් පිහිටුවන නව ආණ්ඩුව යටතේ මෙම බැදුම්කර වංචාවට සම්බන්ධ සියලූ පාර්ශව වලට තරාතිරම නොබලා දඬුවම් දෙන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මෙම බැඳුම්කර වංචාව සඳහා අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද සෘජුවම වගකිව යුතු බව පෙන්වා දෙන රණතුංග මහතා බැඳුම්කර කොමිසම සම්බන්ධ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය සුපුරුදු රංගනයක් මගින් රටේ ජනතාව රැවටීමක් වනු ඇතැයි ද සැක පල කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාවේ පළමුවැන්න පවත්වනු ලබන 06 වෙනිදා ගම්පහ කඩවතදී පැවැත්වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා (03) පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය. උඩුගම්පල රණතුංග මහතාගේ නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

‘පසුගිය වසර දෙකහමාර තමයි මේ රටේ ඉතිහාසයේ කාලකණ්ණිම වසර දෙක හමාර. මේ ආණ්ඩුව යටතේ රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට වැටිලා. මේ ආණ්ඩුවට කිසිම ප‍්‍රතිපත්තියක් නෑ. සැලසුමක් නෑ. අද මේ රටේ නායකයන් කරන්නේ බොරු බේගල් ගහන එකයි. ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ පහළම නායකයා දක්වා ජනතාව රවටනවා.

හොරු අල්ලනවා යැයි කියමින් බලයට පත් වූ ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව රටම හූරගෙන කනවා. අද කවුරු ඉදිරියේ වරදකරු නොවුනත් මේ ආණ්ඩුව ජනතා අධිකරණය ඉදිරියේ වරදකරු වෙලා ඉවරයි. ඒ නිසා තවත් සුරංගනා කථා කියමින් මේ රටේ ජනතාව නොමග යවන මේ රනිල් ආණ්ඩුවට බැහැ. දින 100 ආණ්ඩුව වේලාවේ බැඳුම්කර වංචාව හෙළිදරවු වුණ වෙලාවේ රනිල්ව රැක ගන්න ආණ්ඩුව විසුරවපු ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි අපි කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. ජනාධිපතිවරයා අවසන් මොහොත දක්වාම රනිල් ගලවා ගැනීමට පුළුවන් හැම උප්පරවැට්ටියක්ම යොදන බව පැහැදිලියි. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියන්නේ මේ බැඳුම්කර හොරකම යට ගැසීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා.

ඒ මේ අසාර්ථක ආණ්ඩුව ගෙදර යවන්න දැන් රටේ ජනතාව තීරණය කරලා ඉවරයි. අපි පෙබරවාරි 10 වෙනිදා මේ රට මේ ශාපයෙන් මුදා ගැනීමේ මුල් පියවර තියනවා. ඉතා ඉක්මණින් අපි කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහින්දගේ ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුව යටතේ බැඳුම්කර හොරුන්ට නිසි දඬුවම් දෙනවා. ඔවුන්ගේ තරාතිරම මොකක් උනත් අපි ඔවුන්ව අත අරින්නේ නෑ. බැඳුම්කර කුඩු කෑ සැමට එදාට වග කියන්න වේවි.

දැන් අපිට තර්ජනය කරනවා අපේ මන්ත‍්‍රීවරයා අහෝසි කරනවා කියලා. අපේ මන්ත‍්‍රීධූර නෙවෙයි මොනවා නැති කලත් අපි යන ගමන නතර කරන්න ඒ අයට බෑ. මහින්දගේ ඡුායාරූපය ගහගෙන ආයෙමත් ජනතාව රවට්ටන්න ආණ්ඩුවට මුක්කු ගහපු අයට අප ඉඩ දෙන්නේ නෑ.

අද මේ මැතිවරණ සටන තියෙන්නේ ආණ්ඩුව හා විපක්‍ෂය අතරයි. ආණ්ඩුව නියෝජනය කරන ඒ වගේම ආණ්ඩුවට මුක්කු ගහපු අයත් ඉන්නවා. හැබැයි අපි ඉන්නේ මේ ආණ්ඩුවට විරෝධී සටනකයි. මේ දේශද්‍රෝහී ආණ්ඩුව පලවා හැරීමේ සටනේ පළමු වෙනි අදියර අප 06 වෙනිදා ගම්පහ කඩවතින් අරඹනවා. එදාට ලොකු වෙනසක් අපි ගම්පහින් කරනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුලීප් විජේසේකර මහතා,

මේ මැච් එක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ටීම් එකයි, ඊ ටීම් එකයි අතරේ. හැබැයි මේ මැතිවරණයේදී දිනන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඊ ටීම් එක. ඒකට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔබ මම අත්දැකීමෙන් දන්නවා.

ප‍්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල යන මහත්වරුන් මෙහිදී කථා කළහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

Post Comment