සංස්කෘති

සිනමාකරුගේ පිටුවහල් දිවිසැරිය සිනමාවට නැගෙයි

ශ්‍රී ලංකාවේ විටින්විට පවතින ගැටුම් හා විවිධ දේශපාලනින තත්ත්වයන් හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්ව ලංකාවෙන් පිටුවහල් වූ ජීවිත පිළිබදව කරනු ලබන විවිරණයන් ඇතුලත් “පිටුවහල් දිවිසැරිය“ නම් වූ නවතම වාර්තා වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කිරීමට මාධ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසක් සූදානමින් සිටී.

මේ වෙනුවෙන් වන සංකල්ප නිර්මාණය සහ මග පෙන්වීම “ලංකාසිටිසන්“ මාධ්‍ය ජාලය විසින් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. පිටපත් රචනය එහි ප්‍රධාන සංස්කාරක ජනිත් විපුලගුණ විසින් සිදුකරනු ඇත.

මේ වැඩසටහන් මාලාවට ශ්‍රී ලංකාවෙන් බැහැරව දිවි ගෙවන ජීවිත තර්ජනයන්ට ලක් වූ පුද්ගලයින් හා සංවිධාන එක්කර ගැනීමට බලාපොරොත්තුවෙයි. මෙහි පළමු වැඩසටහනට ශ්‍රී ලංකාවේ සිටි චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සේම ව්‍යාපාරිකයෙක් ද වූ ජයසුමන විජේසේකර මහතා පළමුව සම්බන්ධ කරගැනීමට ඔවුන් සූදානම් වෙයි. මේ වනවිටත් ජීවිත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල්ව සිටින “ජය ශ්‍රී චිත්‍රපට“ සමාගමේ හිමිකරු වූ ජයසුමන විජේසේකර මහතා සහ ඔහුගේ බිරිද වන සාගරිකා විජේසේකර මහත්මිය වසර ගණනාවක් තිස්සේ ලැබූ කටුක අද්දැකීම් හා දුෂ්කරතා මෙහි පළමු වැඩසටහනට පාදකවනු ඇත. ඔවුන් දැනට වෙසෙන්නේ මහා බ්‍රිතාන්‍ය යේ බව සැලයි.

කෙසේ වෙතත්, වසර 30ක දරුණු යුද්ධය අවසන් වුවද ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිම තවම ප්‍රචණ්ඩ සහ ජුගුප්සාජනක බව බොහෝ දෙනාගේ අදහසයි. මාධ්‍ය වේදීන්ට, සිනමාකරුවන්ට සේම දේශපාලනඥයින්ට සහ සමාජ ක්‍රියාකාරිකයන්ට තවමත් ශ්‍රී ලංකාවේදී සිදුවන දුක් ගැහැට අපමණ ය.

වසර දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ පවතින මේ තත්ත්වය ලොවට කීමට නිර්මාණශීලී පියවරක් ගැනීම වැදගත් බව ලංකාසිටිසන් මාධ්‍ය ජාලයේ ප්‍රධාන සංස්කාරක ජනිත් විපුලගුණ පවසයි.