ප්‍රධාන

රනිල්ට එරෙහි විශ්වාසභංගය සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මඟින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව ඊයේ (2018 ජනවාරි 10දා) දින කතානායක කරු ජයසූරිය ට භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වගකිවයුතු බව සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව මේ වනවිට නීති විශාරදයන් විසින් කෙටුම්පත් කර අවසන් බවද ඒ මහතා සඳහන් කරයි.

මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කිරීම අද (10දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් සිදුකරනු ලබන බවත් ඉන්පසුව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදීමට කටයුතු කරන බවත් අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට එරෙහි සියලුම ජනතා නියෝජිතයන්ට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා අවස්ථාව තිබෙන බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

එම නිසා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාගේම එක්සත් ජාතික පක්ෂයේත් ජනතා නියෝජිතයන්ටද මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

යම් හෙයකින් මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට යමකු ක්‍රියා කරනවා නම් එම පුද්ගලයා අනිවාර්යෙන්ම බැඳුම්කර වංචාවට අනුබල දුන් පුද්ගලයකු බව රටට හෙළි කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

Post Comment