ආකල්ප

දෛවයේ සරදම් හා දෛවෝපගත සිදුවීම්

මේ සමග ඇති පින්තූරය යමෙකුට ඓතිහාසික මතකයන් රැසක් ඇති බව ඒත්තු ගන්වයි නම් එය යි සත්‍යය. මේ පින්තූරය මා විසින් ගනු ලැබූයේ කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ වෘත්තීයවේදීන්ගේ සංගම් ශාලාවේදී ය. මෙහි කීර්ති ට දකුණුපසින් වාඩිලා සිටියේ මා ය. මේ පින්තූරය හැර මේ සිදුවෟම් සමුදායේ වීඩියෝ ඇතුළු තවත් පින්තූර රැසක් මාසතුව ඇත. එමෙන්ම මේ ආරම්භ කිරීමට සූදානම් වන රැස්වීමේ මෙහෙයුම්කරුවාද වූයේ මම ය. මා මෙහි සමාරම්භය ගෙන දුන් පසු රැස්වීම මෙහෙයවමින් ඉදිරියට රැගෙන යාමට සිටියේ අතක ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයකි. මේ පින්තූරය අද (2018 ජනවාරි මස 11) දින මුහුණු පොත තුල යාවත්කාලීක කරමින් කීර්ති තෙන්නකෝන් විසින් යොදන ලද සටහන මම යළිත් උපුටමි.

“…අවුරුදු 6 කට ඉස්සර අද වගේ දවසක මේ වගේ වේළාවක ‘සාධාරණ සමාජය පළමු ප්‍ර‍සිද්ධ රැස්වීම‘ OPA ශාලාවේ දී පැවැත්වුණා. කථා කරන්න නියමිත සිටි අය තර්ජනයට බයේ කථා කරන්න ආවේ නෑ. රවී ජයවර්ධන සහ මම හාමුදුරුවෝ එක්ක පැය 3 කට වැඩි වෙළාවක් කථා කළා. ජනිත විපුලගුණ මේ පින්තුරේ අරගෙන තිබුණා.
එහෙම හදපු සාධාරණ සමාජය 2015 ජනවාරි 8 ආණ්ඩු බලය පෙරපුවා. අවුරුදු 6 කට පස්සේ අද, මම ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු 6 ක් නොවෙයි තව අවුරුදු 5 කියලා උසාවි ගියා!
එදා බිංදුවක් වත් බය නැති වුනාට, අද නම් ඒ හොරු – මේ හොරු අතර අන්ත අසරණකමක් මේ පින්තුරේ දැක්කම ඇතිවුණා, අපේ හාමුදුරුවනේ!
……… ”
මේ දිනය වන විට අප අත්වින්දා වූ යථාව හමුවේ, සමාජ ශෝධක සමාජ ව්‍යාපාරයක් සමාජය ඉල්ලමින් සිටි මොහොතක් වීය. එහෙත් එය පක්ෂ දේශපාලනයට ගැති හෝ යට නොවන සමාජ ව්‍යාපාරයක් වනු දැක්ම අපගේ ඒකායන බලාපොරොත්තුව වීය. අප අතර සිට ඇතැමුන්ට එය යම් දේශපාලන පක්ෂයක වුවමනාවන් වෙනුවෙන් යට කිරීමට පසු කලෙක ඇතිව තිබූ යටි අරමුණු හමුවේ ඒ බව තේරුම් ගත් ඇතැමුන් ඉන් ඉවතු වූ බවද පළමුව සටහන් කරමි.

කෙසේ වෙතත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ටද ඒ ව්‍යාපාරය පක්ෂයක හෝ කණ්ඩායමක හෝ පුද්ගලයෙකුගේ හෝ අතකොළුවක් වනු දැක්මේ කිසිදු ආශාවක් නොවූ බව අපට රහසක් නොවීය. රාජගිරියේ කාර්යාලයේ අප දෙතුන්දෙනෙක් කළ මූලික සාකච්ඡා තුනකින් පසුව මේ පින්තූරයේ දැක්වෙන අවස්ථාවට සෝභිත හිමියන් ද කැටුව එකම මේසයක වාඩිවන්නටත් එහි සමාරම්භක හමුව පවත්වන්නටත් අපට අවස්ථාව උදාවීය. සෝභිත හිමියන් සම්බන්ධීකරණය රවී ජයවර්ධන භාරයේ තිබුණු අතර, සෑම අවස්ථාවකම මෙහි රැස්වීම් වාරයන්ගේ පළමු කථිකයා ලෙස අරමුණ පැහැදිලි කළේද ඔහු විසිනි. මේ ව්‍යාපාරය ඉතා දිළිදු ආර්ථික අඩියක ආරම්භ කරද්දී ඒ වෙනුවෙන් තම පුද්ගලික ධනය වැය කළෝ වූයේ ශිරාල් ලක්තිලක හා කීර්ති තෙන්නකෝන් ය. ශිරාල්, කීර්ති, රවී මෙහි සමාරම්භකයෝ වූහ.

අරමුණ වූයේ ඒවකට සමාජගතව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගැනීම උදෙසා වූ මාතෘකා දහයක් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමය. ඒ වෙනුවෙන් වූ ලියවිල්ල අත් පිටපත් කිරීමෙන් අනතුරුව මා විසින් යළි ශිරාල් ගේ අනුමැතිය ට සංශෝධනයටන්ට යටත්ව අඩුම වියදමින් පිටපත් 200 ක් මුද්‍රණය කරවාගෙන පැමිණියෙමි.

“…මහත්තයෝ අපි මේ යෝජනා ටික මහින්ද මහත්තයාටත් යොමු කරන්න ඕනි. ඒ වෙනුවෙනුත් පුළුවන්තරම් ඉක්මනින් වැඩපිළිවෙළක් යොදන්න….“ දීර්ඝ කතාබහක් අතරතුර මාදුළුවාවේ සෝභිත හිමියෝ වදාළහ. මා ද, “එහෙමයි” කියමින් ඒ යෝජනාව අනුමත කළ අතර, ඒ වෙනුවෙන් මගක්ද විවර කර ගන්නට වෙර දැරීමි. විටෙක අරලිය මැඳුරට ද ගියෙමි. එහෙත් ඒ අවස්ථාව වනවිට මහින්ද පාර්ශවයේ සම්බන්ධීකාරකයෝ ගෙවූ උද්ච්ඡ සහ අධි මානසිකත්ව ස්වභාවයන් ඒ යෝජනා පයිසෙකට ගණන් නොගනිමින් කටයුතු කළෝය. සැබැවින්ම මහින්ද මහත්තයාට ඒ යෝජනා දකින්නටවත් අවස්ථාවක් එදා උදා වූයේ නම් යම් සාධනීය තලයකට පිළිතුරක් ලැබෙන්නටත් ඉඩක් නොතිබුණා යැයි කිව නො හැකි ය. මහින්ද සහ මහින්ද දන්නා හඳුනන අපි අතර ද “බැරියර්” එමට වී ය. ඒ කෙසේ වෙතත්, කීර්ති පෙර සටහනේ පවසා ඇති පරිදි, බිය – සැක – සංකා මැද ආරම්භ වූ මේ ව්‍යාපාරයට නමක් යෝජනා කරන්නට රැස්වීමක් ද කැඳවීය.

දෛවෝගත සිදුවීම් නම්, මේ ව්‍යාපාරය වෙනුවෙන් “නම” ට යෝජනා සම්මත වූයේ නාරාහේන්පිට අභයාරාමයේ කුප්‍රකට ශාලාවේ, ඒ වට මේසයේ ඒ අසුන්වල දී ම ය. එය “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” ලෙස මා විසින් සභාවේ යෝජනා සම්මතය සටහන් කොට ඊ ළග ප්‍රසිද්ධ රැස්වීමට අවශ්‍ය කටයුතු මෙන්ම ප්‍රචාරණ කටයුතු භාරගන්නා ලදී. එහි සිටි සමාජ ක්‍රියාකාරිණියක් වූ ප්‍රියදර්ශනී ආරියරත්නගේ යෝජනාවකට අනුව මේ ව්‍යාපාරයේ සටන් පාඨ අතරට “ජීවිතයට යුක්තිය – Justice for Life” පාඨයක් ද එකතුවීය. මේ ඇරඹුම දන්නෝ සහ අවංකව මේ අතීතය පවසන්නෝ කීදෙනෙක් නම් අප අතර වෙත් ද ? කෙසේ වෙතත් ඉතිහාසය යනු එක එකාගේ බලපුළුවන්කාරකම් මත ලියවෙන්නක් නොවන බවට මේ කෙටි සටහන් වුව අනාගතයට යම් පණිවුඩයක් රැගෙන යනු ඇත යන්න මගේ විශ්වාසයයි. ( සෝභිත හිමි අපවත්වීමෙන් පසු මා විසින් මෙයටම අදාළව ලියන ලද්දකට, වත්මන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් ලියන ලද දීර්ඝ විමසුම් ලිපියක් ද ඇත. එය මුද්‍රණයෙන් ද එළිදැක්වීම පිළිබඳව මම, සුදර්ශනට ද ස්තූතිවන්ත වෙමි.)

කොට්ටාවේ කටුකුරුන්දේ ඩිලංක මල්ලීගේ නිවසේ දින කිහිපයක් ගතකරමින්,අතීශය දුෂ්කර තත්ත්වයන් යටතේ, මෙහි මංගල රැස්වීමේ ප්‍රචාරණ කටයුතු සියල්ල නිම කළෙමි. ඒ අනුව මේ ප්‍රසිද්ධ රැස්වීමට ප්‍රථම යොදාගත් තවත් හමුවක් නිදහස් මාවත, පුස්තකාල හා සේවා හි රැස්වීය. ඒ වෙනුවෙන් බරපැන යෙදූවේ ශිරාල් ලක්තිලක ය. ජනවාරි 31 වන දින ජයවර්ධන කේන්ද්‍රයේ මුළු දෙන “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” මංගල මහා ජන හමුවේ පුවත්පත් දැන්වීමට මුදල් අහිමි වූ කළ ඒ වෙනුවෙන් ඉදිරිපත් වූයේ කීර්ති තෙන්නකෝන් ය. මගේ මතකය නිවැරදි නම් ඔහුගේ බිරිඳ ගේ (ඒවනවිට ඔහුගේ ප්‍රිය බිරිය ජීවත්ව සිටියා ය) ගිණුමෙන් මුදල් ගෙන පුවත් පත් දැන්වීමට අවශ්‍ය මුදල මා අත තැබී ය. ඊට අමතරව අප සමඟ කටයුතු කළ අතළොස්සක් වූ කණ්ඩායමට ආහාර පාන වෙනුවෙන් ද ඔහු මුදලක් ලබා දුනි. තවද මේ දින කිහිපයේ සෑම දිනකම සවස් යාමයේ ගමන් වියදම් ද ඔහු විසින් ලබා දුනි.

අද වනවිට “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” ට උප්පැන්න රැසකි. පියවරු රැසකි. අදත් උදෑසන පුද්ගලික නාලිකාවක අරක් ගත් සම-හරක් මහාචාරීන් මේ ව්‍යාපාරයේ පියවරුන් සේ පෙනී සිටිනු දක්නට හැකි වීය. ඒ කෙසේ වෙතත් “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” නිසා ඇතිවූ හොඳ හා නොහොඳ තව දුරටත් කතා කළ යුතු මට්ටමක පවතී. එය අවිවාදිත ය.

මේ ටික ලියන්නට මතකය අවදි කළ කීර්ති තෙන්නකෝන් සොයුරාට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. විටින් විට මම මේ ඉතිහාසය කෙටියෙන් සටහන් කර ඇත්තෙමි. විශේෂයෙන් මෙසේ සටහන් කරනුයේ එදා අප සමග සිටියවුන්ගේ මතකය අවදි කරනු පිණිස නො වේ ය.

ජනවාරි අටක් ගැන කියමින් ඩෙඟා නටන පඟරයින්ට පුංචි මතක් කිරීමක් කරන්නට ය. අපි ඒ දවස්වල කළේ මොනවාදැයි අසන හුජ්ජ ගැටවුන්ට පොඩි කිතියක් කවන්නට ය.

මේ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” සමාරම්භයේ සිදුවීම් සමුදායේ අංශුවක් පමණක් බව මේ ලිපියේ අවසන ලෙස සටහන් කරමි.

– ජනිත් විපුලගුණ – 
– 2018 ජනවාරි 11 – මාතර දී ය.

Post Comment