විශේෂාංග

රණ්ඩු වෙවී යාළු වෙවී ඉඳ හිඳ මැති සබයේ : ඉන්ට හැකිය තවත් කලක් බත් කා එක හැළියේ

ජනාධිපතිවරයාට චෝදනා එල්ලකිරීමෙන් වැලකී සිටිමට එක්සත් ජාතික පක්‍ෂයේ සියලු නියෝජිතයින් 17 දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පොරොන්දුවක් ලබා දුන් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ පක්‍ෂයේ සියලු නියෝජිතයින් වෙත අවවාද ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා (17) වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදීයී.

කෙසේ වෙතත් සුසිල් ප්‍රේමජයන්ත් හා ඩිලාන් පෙරේරා වැනි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින් දිගින් දිගටම අග‍්‍රාමාත්‍යවරයා විවේචනය කරමින් අදහස් දැක්වීම තුළ ගැටළුකාරී තත්ත්වයක් ඇති වූ බවත්, ඊට ප‍්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්‍ෂයටද සිදු වූ බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙතැන් සිට ජනාධිපතිවරයා විවේචනය නොකර සිටීමට එක්සත් ජාතික පක්‍ෂය පියවර ගන්නා සේම අගමැතිවරයා විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින්ද පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින්ගේ හැසිරීම තුළ ඇති වුවක් බවද කියා සිටි රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ආරම්භය හා අවසානය කොතැනක වුවද මෙම වාග් ප‍්‍රහාර එල්ල කර ගැනීම මෙතැන් සිට නවතා දමා යහපාලන ප‍්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා අත්වැල් බැද ගත යුතු යැයිද පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළීතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

බැදුම්කර වාර්තාවට අනුව කිසියම් වරදක් සිදුව ඇත්නම් ඉට අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බව අගමැතිවරයාගේත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේත්, එක්සත් ජාතික පක්‍ෂයේත් ස්ථාවරයයි. ඊට අදාළ නීතිමය කටයුතු සිදු කරන ලෙස අදාළ අංශ වෙත දැනුම් දුන්නේත් අගමැතිවරයාමයි. මෙහිදී කිසිවෙකු හෝ වීරයින් ලෙස ඉලිප්පීමේ වුවමනාවක් නෑ.

බැදුම්කර සිද්ධිය ගැන වැඩිපුරම කතා කළේ ඒකාබද්ධ විපක්‍ෂයයි. එහෙත් බරපතළ වංචා සෙවීමේ කොමිසමෙන් වැඩිපුරම චෝදනා එල්ල වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියටයි. දැන් බැඳුම්කරයට මුවාවී චෝදනා වසන් කර ගැනීමටයි ඒකබද්ධ විපක්‍ෂය උත්සාහ කරන්නේ. ජනපති කොමිසමේ වාර්තාවට අනුව සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11 යි. එහෙත් පර්පචුවෙන් සමාගමට අයත් රුපියල් බිලියන 12 ක් මහා භාණ්ඩාගාරය තුළ රඳවා තබා ගන්නට රජය පියවර ගෙන තිබෙනවා. එබැවින් යම් අලාභයක් සිදුව ඇත්නම් එම මුදල් පියවා ගැනීමේ අවකාශය උදා වෙලා තිබෙනවා.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ සමයේ සිදුව ඇති වංචා හා දූෂන වලින් මෙන්ම එම කාලයේ සිදුව ඇති බව කියන බැඳුම්කර වංචාවලින් රට අහිමි වී ඇති මුදල් රුපියල් බිලියන ගණනක්. එම මුදල් පියවා ගන්නට කිසිඳු හැකියාවක් මාර්ගයක් නෑ. මෑත කාලයේ සිදුව ඇති දේ පිළිබඳ මෙන්ම මේ ගැනත් පුළුල්ව කතා කළ යුතුයි.

ජනාධිපතිවරයා සතුව සඟවා තැබීමට කිසිඳු තොරතුරක් නැහැ. දූෂණ වංචාවලින් තොර රටක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණයි. ඒ වෙනුවෙන් අපි සහයෝගය ලබා දිය යුතුයි. එමෙන්ම දූෂණයට එරෙහි වැඩපිළවෙළ යටතේ කලබලයට පත්ව සිටින්නේ දූෂිතයින්.

රජය ඉතා නිවරදි ගමනක නිරතව සිටින බවද පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ රංඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ… ගීතයට සමාන ලෙසින් වත්මන් රජයේ වැඩපිළිවෙළද සහයෝගීව ඉදිරියට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු පැවසීය.