දේශපාලන

රවී බිල්ලට දී හැබෑ හොරු රකින පිළිවෙතට එරෙහි ජනමතයක් ගොඩනැගෙයි

ප්‍රශ්නගත බැඳුම්කර කොම්සන් වාර්තාවේ සාරාංශයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ කතාවෙන් පසුව රටේ බොහෝ ක්ෂේත්‍රවල ඊට තිබූ මතයේ යම් දෝලනයක් දක්නට ලැබෙනබව දේශපාලන විචාරකයින්ගේද මතය වී තිබේ.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ “කවුද හොරා” කතාවෙන් පසුව සමාජයේ බොහෝ දෙනෙක් මෙහි ඇති ජුගුප්සාව අවබෝධකරගනිමින් සිටින බව ඔවුන්ගේ විමසුමට ලක්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

බැඳුම්කරයට සම්බන්ධව සියලු දෝෂ හිටපු මුදල් ඇමති රවී කරුණානායක මත පටවා සැබෑ හොරු නිදහස්වීමට දරන තැත මේ ආසන්න සිදුවීම්හමුවේ සමාජගතවීම මේ වෙනසට පාදක වී තිබේ.

ආදළ විශයයට හෝ කිසිදු සම්බන්ධයක් නැති සහ ඒ වනවිට රජයේ කිසිදු වගකිවයුතු තනතුරක් හෝ නොදැරූ මලික් සමරවික්‍රම වැනි ව්‍යාපාරිකයෙක් බැඳුම්කර ගනුදෙනුවට ඍජුව මැදිහත්වීම යට යවා වෙනත් ගනුදෙනුවකට අදාළ රවී කරුණානායක උඩට ගෙන නටන නාඩගම හෙළිදරව් කළ යුතුම බව “ලංකාසිටිසන්“ සමග අදහස් දැක්වූ ආර්ථික හා දේශපාලන විචාරකයෙක් පැවැසීය.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය රාජ්‍ය බලය හමුවේ දිය යට රැන්දවූ රබර් බෝලයක් ලෙස දැනට ආයාසයකින් තබාගෙන සිටියද ලබන පෙබරවාරි 10 වන දින පවත්වන මැතිවරණයේ ප්‍රතිපලයත් සමග යම් සෙලවීමකට ලක්විය හැකි බවටද විචාරක අදහස් පළ වෙයි.

ඉදිරි මැතිවරණ හමුවේ සහ අදාළ චෝදනාවන්ට ලක් කිරීම හමුවේ තමන් කිසිවිටකත් පසුබට නොවන බව මේ අතර රවී කරුණානායක මන්ත්‍රීවරයා සිය හිතවතුන්ට පවසා ඇත. ඒ අනුව නුදුරේදී පක්ෂය වෙනුවෙන් තමා බොහෝ කැපකිරීම් කිරීමට සූදානම් බවත්, අධිකරණය හමුවේ තමාගේ නිර්දෝෂීබව හෙළිවනු ඇතිබවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා දැඩි විශ්වාසයකින් පසුවන බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ගවලින් කියැවෙයි.