ආකර්ශණීය

මෛත්‍රී ගේ දෙවන ගමනේ කසකරුවන් සූදානම් කරයි

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන තම දෙවන ධූරකාලය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසමින් සිටින බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි. මේ වනවිට ඔහුගේ ක්‍රියා කලාප මගින් තවත් ධුර කාලයක් වෙනුවෙන් වන මත විමසුම් සිදු කරතත් ඔහු මේ වෙනුවෙන් සූදානම් වූයේ 2017 මැදභාගයේ දී සිට බව “ලංකාසිටිසන්” වෙත දැනගන්නට ලැබෙයි.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් වන නීතීඥ ශිරාල් ලක්තිලක විසින් මේ වනවිටත් සංකල්ප හා මෙහෙයුම් වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සම්පත් ඒකරාශී කරන බවත්, එම මෙහෙයුම් කමිටුවට නිහඬ පාර්ලිමේන්තු මන්ත්‍රී (පත්කළ මන්ත්‍රී) මලිත් ජයතිලක ද ඇතුලත් බවත් අපගේ ආරංචි මාර්ග පවසයි. තවද මේ වෙනුවෙන් හෙළ උරුමයේද සහාය ලැබෙනු ඇති බවට විශ්වාසය පළ වී ඇත.

ගිය වසර මැදභාගයේ සිට සැලසුම් කළ මේ මෙහෙයුම බාරව සිටි හා ශිරාල් ලක්තිලක විසින් නම් කරන ලද සම්පත් දායකයින් කිහිපදෙනෙක් මේ වනවිට හදිසියේ රට හැරගොස් සිටීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් දැනට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවය සමග විරසකව සිටින වැඩිදෙනාගේ සහාය මේ වෙනුවෙන් ලබා ගැනීමට මොවුන් කටයුතුකරමින් සිටී. ඒ අනුව වසර ගණනාවක සිට සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පැරණි ක්‍රියාකාරිකයන්ගේ ද සහාය මේවනවිටත් මොවුන්ට ලැබෙනු ඇත යන විශ්වාසය පවතී. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ වගකීම හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙක් වන නීතීඥ මෛත්‍රී ගුණරත්න වෙත පැවැරීමට ද තීරණය වී තිබේ. මෛත්‍රී ගුණරත්න විසින් දැනටමත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචිකරගෙන තිබෙන අතර, එය කෙසෙල් ඈවරිය ලකුණින් මෙවර පලාත් පාලන ආයතන කිහිපයක ද අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතික නිදහස් පෙරමුණ එම නව දේශපාලන පක්ෂයයි.