දේශපාලන

අලුත් අධිකරණ පිහිටුවීමට ජවිපෙනුත් අත හිත : පලමුවැන්න බැඳුම්කරයට

අලුතින් හදන මහාධිකරණවලින් පළමු අධිකරණය බැඳුම්කරය සඳහා වු විශේෂිත අධිකරණයක් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (2018 ජනවාරි 19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හඳුන්නෙත්ති මහතා මෙසේ කියා සිටියේය.

“මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම බරපතළ ප‍්‍රශ්නයක් කියලා. මූල්‍ය නීති පනතේ 12.1 වගන්තියට අනුව මහ බැංකු අධිපතිවරයා පත්කළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයායි.

නමුත් මෙම පත්කිරීම කොමිසම ප‍්‍රශ්න කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේ පත්කිරීම විධිමත් කියලයි. නමුත් ඇත්ත කාරණාව මෙම විධිමත් පත් කිරීම කොමිසමෙන් ප‍්‍රශ්න කර තිබීමයි.

වාර්තාවට අනුව මහේන්ද්‍රන් මහතා එවකට මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත සහ හෝ මහ බැංකුව භාර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයාගේ නිර්දේශ මත පත්කරන ලද්දේ දැයි කොමිසම විමසන ලදී.

අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය. ”2015 ජනවාරියේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ බැංකුවේ අධිපති ධුරය සඳහා මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු බවට ආණ්ඩුව තුළ පොදු එකඟතාවයක් තිබුණා. මම මේ යෝජනාව මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළා.

ඔහු මහේන්ද්‍රන් මහතා වඩාත්ම සුදුසු පුද්ගලයා බවට එකඟ වුණා. ඒ අනුව මගේ එකඟතාවය සහිතව මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයාට මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු යැයි නිර්දේශ කළා. ඒ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කළා.” කියලා අගමැතිවරයා පිළිතුරු දෙනවා.

ඒ අනුව පත්කිරීම කළේ ජනාධිපතිවරයා විසින්. රවී කරුණානායක ඕ.කේ. එක දෙන එක අහන්න දෙයක් නැහැ. මොකද, මෙම විමර්ශනයෙන් රවී කරුණානයක සහ මහේන්ද්‍රන්ලාගේ සම්බන්ධය මොකක්ද කියලා හෙළි වුණා. එම පත්කිරීම නීතිය ඉදිරියේ ප‍්‍රශ්නයක් නොවුණත් ඒක වැදගත් තීන්දුවක්දැයි කොමිසම ප‍්‍රශ්න කරනවා. නමුත් ජනාධිපතිවරයා කිව්වේ විධිමත් පත්කිරීමක් කියලා.

පුරවැසියෙකු නොවන අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට තීරණය ගත්තවුන් පිළිබඳව කොමිසම විමතිය පළකරලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් ඔහු ඒ පිළිඳ වගකීම මුළුමනින්ම ගන්නවා. ඒ කියන්නේ ඔපරේෂන් ස තවමත් ඉවර නැහැ.

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කළා. රටේ ජනතාව බලාගෙන හිටියා, බරසාර ප‍්‍රකාශයක් කරයි කියලා. වාර්තාවේ සඳහන් වෙලා තිබෙන රනිල් වික‍්‍රමසිංහ ගැන, අර්ජුන මහේන්ද්‍රන් ගැන, අර්ජුන ඇලෝසියස් ගැන විශේෂ ප‍්‍රකාශයක් කරයි කියලා.

අගමැතිවරයාගේ කතාවට අනුව ඔහු වරදක් කරලා නැහැලූ. එජාපයේ කවුරු හරි වැරදි කරලා තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලන්න තිලක් මාරපන කමිටුව පත්කරනවාලූ.

අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මහ බැංකු කොල්ලය ගැන හොයන ඒකට රනිල් වික‍්‍රමසිංහ, රවී කරුණානායක සම්බන්ධද කියලා පරීක්‍ෂණ කරන්න ඇවන්ගාඞ් වංචාවට චූදිතයෙක් වෙලා ඇමතිකමිනුත් ඉල්ලා අස්වෙන්න සිදුවුණු තිලක් මාරපන පත් කරනවාද? මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා 34න් එකක ඇවන්ගාඞ් හොරකම ගැන තියෙනවා.

ඒ වාර්තාව බැලූවොත් තිලක් මාරපනගේ වාර්තාව හොයාගන්න පුළුවන්. ඒ නිසා තිලක් මාරපන කමිටුව, පිටිපන කමිටුවට හපන් එකක් වෙනවා. තිලක් මාරපනට මන්තී‍්‍රකම ජාතික ලැයිස්තුවෙන් දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි. ඔහුට ඇමතිකම දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි.

එසේ තිබියදී රනිල් වැරදිද කියලා හොයන්න මාරපන පත්කරනවා. අනෙක් පැත්තෙන් අර්ජුන ඇලෝසියස්ගේ නීතිඥයා තිලක් මාරපනගේ සහෝදරයායි. අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර ලබැඳියාවන් අතර ගැටලූව හොයන්න පත්කරන තිලක් මාරපනගේ සහෝදරයා ඇලෝසියස්ගේ නීතිඥයායි.