ප්‍රධාන

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2017 තුන්වන කාර්තුවේ‍ 3.3% ට අඩු වෙයි

ගිය වසරේ (2017) තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සියයට 3.3 දක්‌වා පහත වැටී ඇත.

2017 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.0 කින් වර්ධනය වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.

පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරය යෝග්‍ය බව පසුගිය රැස්‌වීමේදී මුදල් මණ්‌ඩලයේ අදහස වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්‌ටමේ නොවෙනස්‌ව පවත්වා ගැනීමට තීරණය විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකයේ ප්‍රවණතා අඛණ්‌ඩව සමීපව අධීක්‍ෂණය කරනු ලබනු ඇති අතර, අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්‌තමේන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2017 වසරේ තුන්වන කාර්තුව තුළ දී පුරෝකථනය කළ මට්‌ටමට වඩා අඩු වර්ධනයක්‌ වාර්තා කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය, 2017 වසරේ දෙවන කාර්තුව තුළ වාර්තා කළ සියයට 4.00 ක වාර්ෂික ලCෂ්‍යමය වර්ධනයට සාපේaක්‍ෂව 2017 වසරේ තුන්වන කාර්තුව තුළ දී වාර්ෂික ලCෂ්‍යමය පදනම මත සියයට 3.3 කින් වර්ධනය විය. තෙවන කාර්තුව තුළ වාර්තා වූ ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් කර්මාන්ත සහ සේවා අංශයේ ක්‍රියාකාරකම්වල පැවැති මන්දගාමී ප්‍රසාරණය හේතු වූ අතර, කාලගුණික අවහිරතා හේතුවෙන් කෘෂිකාර්මික අංශය අඛණ්‌ඩව සෘණ වර්ධනයක්‌ වාර්තා කළේය.

නුදුරු කාලයේදී ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී මට්‌ටමක පැවතිය ද, අපනයන අඛණ්‌ඩව ඉහළ යැම හා විදේශ සෘජු ආයෝජන සමඟ ආයෝජන වර්ධනය වීම හේතුවෙන් 2018 වසරේදී ආර්ථික යථාතත්ත්වයට පත් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

කෘෂිකාර්මික අංශය නැවත යථාතත්ත්වයට පත්වීම ද 2018 වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය සඳහා සහාය වනු ඇත.

2017 නොවැම්බර් මාසයේ දී මතුපිට උද්ධමනය අපේක්‍ෂිත ලෙස මන්දගාමී වූ නමුත්, දේශීය ආහාර මිල ගණන් ඉහළ යැමේ බලපෑම පිළිබිඹු කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශනය (ජා. පා. මි. ද) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො. පා. මි. ද) මත පදනම් වූ මතුපිට උද්ධමනය තවදුරටත් ඉහළ මට්‌ටමක පවතියි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන දැඩි මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරයේ සඵලදායී බව පිළිබිඹු කරනු ලබන ඉල්ලුම් පීඩන පාලනය වීම හේතුවෙන් මූලික උද්ධමනය හිතකර මට්‌ටමක පැවතිණි. සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යැම නුදුරු අනාගතයේදී මතුපිට උද්ධමනය කිසියම් දුරකට ඉහළ මට්‌ටමක පැවතීම සඳහා බලපෑම් ඇති කළ හැකි අතර, 2018 වසරේ පළමු කාර්තුව අවසානයේ දී මතුපිට උද්ධමනය නැවතත් අපේක්‍ෂිත මට්‌ටම කරා ළඟා වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

දැඩි මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරයට ප්‍රතිචාර දක්‌වමින්, අපේක්‍ෂා කරන ලද පරිදි වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයනු ලබන ණය වර්ධනයෙහි මන්දගාමී වීම හේතුකොට ගෙන 2017 නොවැම්බර් මාසයේ දී පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සැලකිය යුතු ලෙස අඩු විය. මේ අතර, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ රජයේ සුරැකුම්පත් ඵලදා අනුපාතික අතර පැවැති විෂමතාව නිවැරදි කරමින් රජයේ සුරැකුම්පත් ඵලදා අනුපාතික ඉහළම මට්‌ටමක සිට පහළ ගියේය. ඵලදා අනුපාතිකවල අඩු වීම අනුව, අනෙකුත් වෙළෙඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක්‌ ක්‍රියාවට නැංවීමෙහි බලපෑම කිසියම් දුරකට පෙන්නුම් කරමින්, අපනයන ආදායම් අඛණ්‌ඩව සිවුවන මාසයටත් අංක දෙකක මට්‌ටමේ වර්ධනයක්‌ වාර්තා කරමින් එහි වර්ධන ප්‍රවණතාව නොකඩවා පවත්වාගෙන ගියේය. කෙසේ වෙතත්, ඉහළ අපනයන ආදායම්වල ධනාත්මක බලපෑම සීමා කරමින්, විශේෂයෙන්ම අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් ඇති වූ සැපයුම් අංශයේ අවහිරතා හේතුකොට ගෙන ඇති වූ ඉහළ ආනයන වියදම් හේතුවෙන් වසරේ පළමු මාස දහය තුළ සමුච්චිත වෙළෙඳ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, විදේශ ගිණුම් මත වූ පීඩනය යම්තාක්‌ දුරකට සමනය කරමින්, විශේෂයෙන්ම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස්‌ වෙළෙඳපොළ සඳහා වූ ලැබීම ලෙස මූල්‍ය ගිණුම වෙත අඛණ්‌ඩ ලැබීම වාර්තා විය. 2017 දෙසැම්බර් මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්‌තීර්ණ ණය පහසුකමෙහි සිවුවන වාරිකය ලැබීම සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් ලද ලැබීම ගෙවුම් තුලනය තවදුරටත් ශක්‌තිමත් කිරීමට උපකාරී විය. මෙම වර්ධනයන් මධ්‍යයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එ. ජ. ඩොලර් බිලියන 1.7 ක සමුච්චිත ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම පිළිබිඹු කරමින්, 2017 දෙසැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ. ජ. ඩොලර් මිලියන 7.8 ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇත. 2017 දෙසැම්බර් 27 දින වන විට, එ. ජ. ඩොලරයට සාපේෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.9 කින් අවප්‍රමාණය විය. නම්‍යශීලී උද්ධමන ඉලක්‌කකරණ රාමුවක්‌ වෙත ගමන් කිරීම සඳහා වූ වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ වඩාත් නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක්‌ පවත්වා ගෙන යන අතර, 2017 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව එතෙක්‌ පැවැති දළ නිල සංචිත ප්‍රමාණයෙහි අඩු වීමේ ප්‍රවණතාව වෙනස්‌ කළ අතර, 2015 සහ 2016 යන වසරවල දී හිඟ මට්‌ටමක පැවැති ගෙවුම් ශේෂය 2017 වසර තුළ දී අතිරික්‌තයක්‌ දක්‌වා වර්ධනය කිරීමට සමත් විය.

දැනට පවතින දර්ශක අනුව, 2017 වසරේ මේ දක්‌වා කාලය තුළ විශේෂයෙන්ම ප්‍රාථමික ගිණුමේ අතිරික්‌තයක්‌ වාර්තා කිරීමට හේතු වෙමින් ආදායම් රැස්‌කිරීම් ඉහළ යැම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අංශයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු විය. ප්‍රධාන වශයෙන් ඉහළ පොලී ගෙවීම් සහ සහන වැඩපිළිවෙල ආශ්‍රිත වියදම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මුල් ඇස්‌තමේන්තුවලට සාපේක්‍ෂව 2017 වසරේ දී ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂයන්හි යම් පසුබෑමක්‌ අපේක්‍ෂා කළ ද, සාර්ව ආර්ථික ස්‌ථායීතාව පවත්වා ගෙන යැමට දායක වෙමින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩපිළිවෙළ මැදි කාලයේ දී අඛණ්‌ඩව පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්‌ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්‌ඩලය තීරණය කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත