ආකල්ප

රවී පෙන්නා රනිල් සහ සමීප ගෝලයෝ දීගයාම

මාරපන වාර්තාව නිකුත්වීය. එය රහසක් වශයෙන් නොව ප්‍රසිද්ධියේ කළ විමර්ශනයක් වැනි ය. මේ මගින් වන නිර්දේශයන් සදේශපාලනික කිසිවෙකුට පුදුම එලවනසුලු නොවනු ඇත.

මේ තිලක් මාරපං යැව්වේ කුමකට ද ?
බැඳුම්කරයට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් හවුල් ද නැද්ද යන්න විමසීම එහි ප්‍රකාශිත අරමුණ වූ බව පුවත්හි පළ වීය. එනමුදු සැබූ අරමුණ හෙවත් මේ කෛරාටික දේශපාලුවන්ගේ යටි අරමුණ වී තිබී ඇත්තේ එය නොවේ ය. රටට පමණක් නොව ලොවට ද අණබෙර ගසා පත් කළ බැඳුම්කර කොමිසමේ වාර්තාව ද එසේම ය. අවසානයේ පුස්ස බින්දාක් වැනි වනු ඇත.

හය හතර තේරෙන දරුවෙක්ගේ සිට මෙරට නොරට සියල්ලන්ටම පැහැදිලි බැඳුම්කර හොරු පිළිබඳව සත්‍යය වසන් කොට ඊට සම්බන්ධ පාර්ශවයක වෙනත් ගනුදෙනුවක් අවසානයේ ප්‍රධාන චූදිතයා බවට පත් කළේ ය. එනම් සිදුවෙමින් පවතින්නේ, රවී කරුණානායක සියල්ල හමුවේ වැරදිකරු ලෙස බෞතීස්ම කොට පල් හොරු සියල්ල අත් සෝදා ගැනීම ය.

මේ සඳහා මේ සමාජය යම් අවකාශයක් ලබා දී නිහඬ විය යුතු ද ? නැත.

තවද, මේ අවස්ථාව එක ගලකින් කුරුල්ලන් කිහිප දෙනෙකුම වට්ටවා ගැනීමේ මෙහෙයුමක් බවට පත්ව ඇති බව දන්නේ කීයෙන් කීදෙනෙක් ද ? මේ කැරකෙන්නේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති සීතල යුද්ධයේ ගිනි පුලිඟු ය. මේ සීතල යුද්ධයට ඉතිහාසයක් ඇත. එය ගාමිණී දිසානායකට ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම දක්වාම වන දිගුවකි. කෙටියෙන් දක්වතොත්, රනිල් වික්‍රමසිංහ නම් තීරක වෙස්ගත් කේවට්ට නායකත්වයේ පංචවිධ ප්‍රතිපත්තියක පුරුකක් ය. මේ එහි ප්‍රතිපලයන් ය.

ව්‍යවස්ථාමය බලය හැරුණු විට අන් කවරෙකුටත් වඩා රූකඩ නැටවීමට රනිල් තරම් දක්ෂයෙක් මේ සමාජ දේහයේ තවත් නැති බව රවී කරුණානායකට අත්වන ඉරණමෙන් ඉදිරියේ දී ඔබට අපට බලා ගත හැකි ය. සියල්ලන්ම විමසිය යුත්තේ මේ යටි අරමුණු ය. අප අවබෝධ කරගත යුත්තේ මේ ආකාරයේම අභියෝග එක්සත් ජාතික පක්ෂයේ ආර්. ප්‍රේමදාසටත් තිබුණු බව ය. ඔහු රණසිංහ ප්‍රේමදාස වන්නේ මේ හා සමානම නොවූවත් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ වූ දරුණු සීතල යුද්ධයකින් පසුව ය. ඒ මොහොතේ රටේ පැවැති අවිනිශ්චිත දේශපාලන පසුබිම හමුවේ විනා, ප්‍රේමදාසට මේ රටේ සිහසුන හිමි නොවනු ඇත. පසු කලෙක ප්‍රේමදාස ජනාධිපතිවරයාම කෙටියෙන් ප්‍රකාශ කළ, “මට ලැබුණේ දෙකොන විලක්කුවකි” යන කියමන ඊට කදිම උදාහරණය යි.

රවී කරුණානායක ද අප කවුරුත් ප්‍රසිද්ධියේ නොසිතනා පරිදි, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉව ඇල්ලූවෙක් විය. ඒ වෙනුවෙන් වන සුදුසුකම් ඔහු සපුරමින් නොසිටියා ද නොවේ. පක්ෂයේ ධූරාවලියේ විශේෂිත ස්ථානයකට ද ඔහු පැමිණුනි. ඒ සමගම පක්ෂයක් සහ පිරිස්බලයක් මෙහෙය වීම සඳහා වන මූල්‍ය ශක්තිය ද ඔහු යම් පමණකට සරිකරගෙන තිබුණි. එමෙන්ම අගනගරය කේන්ද්‍රකරගත් දේශපාලනික බල අධිකාරියක්ද ඔහු සතුව නොතිබුණා යැයි කිව නොහැක.

ඒ සියල්ල යට අනිවාර්යය විය යුතු අදිසි දේශපාලන හස්තයන් හැසිරවීමේ හැකියාව ඔහු නොදැනුවත්වම මගහැරී ඇතැයි සිතිය හැකි ය. එය වසන් කිරීමට නොහැකිවන්නේ, සජිත් ප්‍රේමදාස හා තවත් පාර්ශව කිහිපයක් ඔහුට එරෙහිව මේ බල යාන්ත්‍රණයේ කොටස්කරුවන් වීම නිසා ය. පෙර දිනෙක තමන්ට එරෙහිව සිටි සජිත්-කරූ පාර්ශව යම් පමණකට නිහඬ කිරීමට රනිල් වික්‍රමසිංහට හැකිව තිබුණ ද, මලික් හා කබීර් හෂීම් වැනි අය ද රනිල් සමීපයේ සිටින අන්වර්ථනාමවලින් බොහෝ දෙනා හඳුන්වන කණ්ඩායමක් ද මේ සීතල යුද්ධයේ කොටස්කරුවන් ව සිටි බවක් හෙට අනිද්දාම රටට හෙළිවනු ඇත. හෙලි කළ යුතුව ඇත.

තිලක් මාරපන කමිටු වාර්තාව කියන්නේ ද මෙහිම තවත් එක් දිගුවකි. දැන් බෝලය ඇත්තේ රවී කරුණානායක ගේ පැත්තේ ය. රවී පෙන්නා රනිල් සහ අනික් සමීප ගෝලයෝ දැන් දීගයන්නට සූදානම් ය. මේ තත්ත්වය රවීට නොතේරෙනවා ද ? නොතේරෙන්වා නොවේ ය. එලෙස රවී සිටින්නේ පක්ෂයේ ඇතැම් පුද්ගලයින් තමන්ට එරෙහිව දියත් කළ ගැට කිහිපයක තමන් හසුවූ බව කියන්නට රවීට පක්ෂයේ ඉදිරිගමන බාධාවක් වී ඇති සැටි් පෙන්නුම් කරන පසුබිමක ය. සත්‍යය පැවැසුවහොත් එය පාවාදීමකට සම කරන්නට ඇති අවස්ථා බහුල ය. එය මේ බල දේශපාලනයේ හැටි ය.

කෙසේ වෙතත්, යහපාලන පලමු වටයේ දීම රවීට ඔටුණු පලන්දා කේවට්ටයින් මඩි තරකරගෙන හමාර ය. රවීට පුදන ලද ලෝකයම ඔහුට එරෙහිව අවි ඔසවන බවක් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් සේ සලකා පුරවැසියන් නිහඬව සිටීම අමනෝඥ ක්‍රියාවකි. මන්ද යත් මේ සිදුවන්නේ රටම අගාධයට හෙලූ ජවනිකාවක සැබෑ චූදිතයන් ඔබේ ඇසට වැලිගසා පැන යාමකි. ඊට ඉඩ දිය යුතු ද ? නැත.

මාරපන වාර්තාව මගින් රවී කරුණානායකගේ තවත් එක් තනතුරක් ගැලවිය යුතු බවට නිර්දේශ කළ බව පමණක් මේ මොහොත වන විට ප්‍රකට ය. ඒ මෙසේ ය.

– රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ. –
එය නම්, සැබෑ චූදිතයන් සඟවන පෙරහැරේ තවත් එක් කසකරුවෙක් පමණි. එක් බළලෙක් නොව, බළලුන් කිහිපදෙනෙක්ම මල්ලෙන් එළියට පැන ඇත.

රවී කරුණානායක මේ සියල්ල ඉවසා දරා සිටිනුයේ තම ඉදිරි දේශපාලන ගමන එක්සත් ජාතික පක්ෂය මත්තේම යන විශ්වාසයෙන් විය යුතුය. එය එසේ වන්නේ නම් මේ මොහොතේ ඔහුගේ ඉවසීම හා පරිත්‍යාගයන්, එක්සත් ජාතික පක්ෂය විනාශ නොවී රැක ගැනීම සඳහා, මේ මොහොතේ සුපිරි එක්සත් ජාතික පාක්ෂිකයෙක් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ගත් සානුකම්පිත පියවරක් ලෙස ඉතිහාස ගතවනු ඇත.

ඒ ගැන සිතමු ද..? අපි බලා සිටිමු ද ?

සටහන :

අකලූෂ විද්‍යාතිලක

Post Comment