ආකර්ශණීය

බැඳුම්කර වංචාවේ මහ මොළය හා සගයන් එක්වී රවී කරුණානායක බිල්ලට දුන්නා : කැෆේ විධායක අධ්‍යක්ෂ

බැඳුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් සියලු දෙනා එකතු වී තිලක් මාරපන කමිටුව හරහා රවී කරුණානායක බිල්ලට දී, තමන් බේරී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි. රවී කරුණානායක මහතා අර්ජුන ඇලෝසියස් සමග සබඳතා පැවැත්වූ බව කොමිෂන් වාර්තාවේ දැක්වෙනවා.

ඔහුට යම් ප්‍ර‍තිලාභයක් ඒ මගින් ලැබෙන්නට ඇති බව අනුමාන කරන්නට පුළුවන්. නමුත්, බැඳුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් එජාප නායකයා හා ඔහුගේ ගජ මිතුරන් බව ඉතා පැහැදිලියි. තිලක් මාරපන කමිටුව සැබෑ හොරුන් බේරා එජාප උප නායකයා ‘බිල්ල‘ ට දී තියෙනවා. මේක පැහැදිලි මැතිවරණ ඇස්බැන්ඳුමක්‘ යැයි ද පැවසීය.

මාතර සරසි හෝටලයේ පැවති රැස්වීමක් අමතමින් තවදුරටත් කථා කළ තෙන්නකෝන් මහතා, අද වන විට ලංකා දේශපාලනය ඇත්ත හොරුන් හා ගජ මිතුරන් එකතුවී හොර පූසන්ගෙන් තමන් ව්‍යාඝ්‍රයන් බවට පත් කොට ‘හොර පූසන්‘ බිල්ලට දෙන ක්‍ර‍මයක් බිහි කර තිබෙනවා යැයි ද පැවසීය.

බැඳුම්කර වංචාවට සම්බන්ධ සැබෑ පුද්ගලයින්ට දඬුවම් කළ යුතුයි. මහ බැංකුව තව දුරටත් අගමැති අතේ තියාගෙන ඉන්නට ජනාධිපතිවරයා ඉඩ දි ඇත්තේ අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා කෙරෙහි විශ්වාසය තිබෙන නිසා ද? කියා මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව ප්‍ර‍කාශ කළ යුතුයි යැයි ද පැවසීය.

Post Comment