ප්‍රධාන

සයිටම් අවුල හැදූ ඇමතිවරු සියල්ල කුජීතයි

සයිටම් අර්බුදය මේතාක්‌ සංකීර්ණ කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකළ ඇමැතිවරුන් හතර දෙනාට පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් අමතක නොවන පාඩමක්‌ උගන්වා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ (2018 පෙබරවාරි 12 දා) ප්‍රකාශ කළේය.

සයිටම් අර්බුදය සංකීර්ණ කරමින් සිටින සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න බේරුවල ආසනයෙන් මෙන්ම කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් ද හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක සිය මැතිවරණ කොට්‌ඨාසයෙන් මෙන්ම මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් ද ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කර ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.

එමෙන්ම වර්තමාන උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල නායකත්වය ලබාදුන් මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් ද පසුබෑමට ලක්‌ව ඇති බව කී වෛද්‍ය අලුත්ගේ මහතා සයිටම් ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා විසින් වගකීම පැවරූ රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා ද සිය කෝට්‌ටේ මහ නගර සභා ප්‍රදේශයෙන් දරුණු පරාජයක්‌ ලබා ඇතැයි කීවේය.

මෙම ඇමැතිවරුන් විසින් සයිටම් ගැටලුවට ලබාදුන් ව්‍යාජ විසඳුම් ප්‍රතික්‌ෂේප කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සත්‍ය විසඳුමක්‌ සඳහා වන පදනම පසුගියදා ප්‍රකාශයට පත්කළ බව කී වෛද්‍ය හරිත අලුත්ගේ ඒ සඳහා සයිටම් ආයතනයේ බහුතරයක්‌ ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ අවධානය යොමුව ඇතැයි ද කීවේය.

ඒ අනුව තම සංගමය සමඟ පසුගියදා පැවති සාකච්ඡාවට සයිටම් ශිෂ්‍ය නියෝජිතයන් 200 ක්‌ පමණ සහභාගි වූ බව ද එහිදී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබිය හැකි උපාධියක්‌ ලබා ගැනීමට පුළුල් එකඟත්වයක්‌ ඇතිවූ බව ද හෙතෙම කීවේය.

Post Comment