එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන නායකත්වයේ පිරිහීම පසු ගිය දා බේරුවල ප‍්‍රදේශයේ දී රනිල් වික‍්‍රමසිංහ විසින්ම කළ කතාවකින් අපූරුවට පැහැදිලි වී ඇතැයි ද, එය පිරිහීමකටත් වඩා ඛේදවාචකයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එ.ජා.ප. වත්මන් නිල නායක රනිල් වික‍්‍රමසිංහ විසින් බේරුවල දී කරනු ලැබූ ප‍්‍රකාශය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංසදය විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් දැක්වෙයි.
එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන නායකත්වයේ පිරිහීම පසු ගිය දා බේරුවල ප‍්‍රදේශයේ දී රනිල් වික‍්‍රමසිංහ විසින්ම කළ කතාවකින් අපූරුවට පැහැදිලි වී ඇත. එය පිරිහීමකටත් වඩා ඛේදවාචකයක් බව කිව යුතුය.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියළු ජන කොටස් වල නියෝජනයෙන් බිහි වූ එ.ජා.ප. ශී‍්‍ර ලාංකීය අනන්‍යතාවයකින් යුතු පක්‍ෂයක් බව අවිවාදිත සත්‍යයකි. එකී පක්‍ෂය තුළ පටු ජාති, ආගම්, කුල ගෝත‍්‍රවාදී භේද ඇති කිරීම හෝ ඒ තුළින් බලය ලබා ගැනීම හෝ නායකත්වය රැක ගැනීමේ උත්සාහයක් සඳහා ඉඩක් නො වේ. එසේම මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මැතිඳුන්ගේ සිට ඞී.බී විජේතුංග මැතිතුමා දක්වා වූ නායකයන් පක්‍ෂය තුළ කිසිවිටක කිසිදු ජන කොටසකට හෝ සම්ප‍්‍රදායකව පිළිගත් වෙනස්කම් වලට හෝ බෙදීම් කිසිඳු මොහොතක ඉස්මතු කිරීමට හෝ එවැනි පිළිගැනීම් සමච්චලයට බඳුන් කළේ නැති බව කිව යුතුමය. එහෙත් පක්‍ෂයේ වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සියල්ල කන පිට පෙරලමින් පක්‍ෂයේ උදාර සාර ධර්ම පිරිහීමට ලක් කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.
බේරුවල පැවති රැස්වීමකදී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට රාජපක්‍ෂ හේවයාලාගේ නැමැති වාසගමක් පටබඳිමින් රනිල් වික‍්‍රමසිංහ මහතා කර ඇත්තේ එවැනි වාසගම් දරන පුද්ගල, සමාජ කොට්ඨාශය බලවත් සමච්චලයකට ලක් කිරීමකි. එවැනි වාසගම් දරන්නවුන් සමාජයේ කොන්කළ යුතු, පිලිගැනීමක් නො කළ යුතු පුද්ගල කොට්ඨාශයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීමකි.
ශී‍්‍ර ලාංකික ජන සමාජයේ වැඩවසම් සම්ප‍්‍රදාය තුල විවිධ වෘත්තීන් තුළින් බිහි වූ පුද්ගල කොට්ඨාශයන් පිළිබඳව කෙරෙන හැඳින්වීම අනුව අදටත් කටයුතු කරන්නේ රදළ මානසිකත්වයෙන් කි‍්‍රයා කරන උද්දච්ච පැලැන්තියකින් පැවත එන හිස් මිනිසුන් පමණි. එ.ජා.ප. නායකයන් කිසි දිනෙක එවැනි පටු මානසිකත්වයකින් කි‍්‍රයා කළ පුද්ගලයින් නොවේ.
රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයට කැඳවූ ඔහුගේ ඥාතී වරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන්ව පක්‍ෂ නායකත්වයට යෝජනා කළේ එන්.එච්. කීර්තිරත්න මහතාය. ජේ.ආර්. ජයවර්ධන මහතාට ශක්තියක් වූ ජාතික සේවක සංගමයට නායකත්වයට දුන්, පක්‍ෂය බලයට ගෙන ඒමට උත්සුක වූ නාමාවලියේ ප‍්‍රමුඛයෙකු වූයේ සී. සිරිල් මැතිව් මැතිතුමන්ය. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චින්තනයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා කි‍්‍රයා කළේ නම් සිරිල් මැතිව්, අශෝක කරුණාරත්න, රොනී ද මැල් වැනි නායකයන්ට එ.ජා.ප. තුළ අවස්ථාවක් හිමි නොවනු ඇත.
එය අද සිදුවී තිබේ. එන්.එච්. කීර්තිරත්න මැතිතුමාගේ මග පෙන්වීමෙන් දේශපාලනයට පැමිණි අශෝක කරුණාරත්න මහතාගේ දියණිය සමන්තා කරුණාරත්න අද එ.ජා.පක්‍ෂයේ නැත. සිරිල් මැතිව් මහතාගේ පුත‍්‍රයා වන නන්ද මැතිව් මහතා අද එ.ජා.ප. යේ නැත. සිරිල් මැතිව් මහතාගේ ඥාතීයෙකු වන අනුර බැස්ටියන් මහතා ද රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන කලකිරී එ.ජා.ප.යෙන් ඈත් වී ඇත.
මෑතකාලීන ඉතිහාසය තුළ පක්‍ෂයෙන් සිදුවූ මදි පුංචිකම් නිසා පක්‍ෂය හැර නායකයන්ගේ නිදසුන් ඕනෑ තරම් ලබා ගැනීමට පුළුවන. කිසි කලක පටු ගෝත‍්‍රික මානසිිකත්වයෙන් හෝ එවැනි හැඟීමකින් එ.ජා.ප.ය කි‍්‍රයා කර නොමැත.
රනිල් වික‍්‍රමසිංහ මහතා වැන්වුන්ගේ සැඟවුන නොකැමැත්ත මත වුවද ආර්. පේ‍්‍රමදාස මහතා වැනි අය පක්‍ෂයේ නායකත්වයට ගෙන ආවේ ද ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන්ය. අද ජේ.ආර්. ජයවර්ධන ඥාතීත්වය පමණක් රඳවා ගනිමින් රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කරනුයේ එ.ජා.ප. නායකයන් කිසි කලක නොකළ දේශපාලනයක් බව පැහැදිලිය.
ඉම්තියාස් බාකීර් මාකාර් යනු කීර්තිමත් මුස්ලිම් ජාතික පරපුරකින් වර්තමානයේ අපට සිටින අවංක මහත්මයෙකි. නොදන්නා කුරානය ගැන කතා කරමින් ඉස්ලාම් දහමට නිගා කරන රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටේ සම්ප‍්‍රදායික ගෝත‍්‍රවාදය යලිත් පෙරට ගෙන ආ යුතුයැයි කළ ප‍්‍රකාශය අපි තරයේ හෙලා දකිමු. රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් කළ ප‍්‍රකාශය ගැන කණගාටුව ප‍්‍රකාශ කරමින් එය ප‍්‍රසිද්ධියේ ඉල්ලා අස්කළ ගත යුතු බවට අපි අවධාරණය කරමු. මෙවැනි නායකත්වයක් මගින් එ.ජා.ප.ය ජයග‍්‍රහණය කරා ගෙන යාමට නොහැකි බව පක්‍ෂයේ වගකිව යුත්තන් අවබෝධ කරගත යුතුය.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙම ප‍්‍රකාශය තමන් පිළිගන්නේ ද යන්න වහාම රටට පැහැදිලි කිරීම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වගකීමකි. සියල්ල හමුවේ අන්ධ, ගොළු, බිහිරි, ව‍්‍රතය රකින කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ විමසීමකින් තොරව සියල්ල හරියැයි කියන්නවුන්ට ජේ.ආර්. ජයවර්ධන මහතා 1957 දී කළ ප‍්‍රකාශයක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. ‘‘එ.ජා.ප. නායකත්වය මහ පොළව මත අඩිය ගසා සිටිය යුතුය. පොදු ජනයා සමග එක්ව සිටිය යුතුය. නායකයෝ රැුස්වීම් වලට සුඛෝපභෝගී වාහන වලින් පැමිණ රැුස්වීම් අමතා රාජකීය ලීලාවෙන් පිටව යාම නතර කළ යුතුය. ජනතාව අතර ඇවිද යන්නවුන් විය යුතු අතර, ගැවසෙමින් කි‍්‍රයා කළ විට එය රටේ සාමාන්‍ය පක්‍ෂයක් බවට පත්වනු ඇත.’’
රනිල් වික‍්‍රමසිංහ මහතා කරමින් සිටිනුයේ එය නොවේ. ඔහු වැඩවසම් රජෙකු මෙන්, මිනිසුන්ට නම් පටබඳිමින් අපහාස, උපහාස කරමින් එ.ජා.ප. රන් දෙවොල සාතන්ගේ ආරාමය බවට පත් කරමින් සිටී.
කර්කශක වුවද එ.ජා.පාක්‍ෂිකයන්ට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක පද පේළියක් සුළු සංශෝධනයක් සමඟ ඉදිරිපත් කරමු. ‘‘ඇස් ගෙඩි දෙකට හෙන ගහලද අලියන්නේ’’
එම්.ඞී. පේ‍්‍රමරත්න
එ.ජා.ප. හිටපු පා.ම. සංසදයේ උප සභාපති
අවිස්සාවේල්ල හිටපු පා.ම,
හිටපු පාර්ලිමේන්තු කටයුතු හා කී‍්‍රඩා උප ඇමැති








