වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඔස්ට්‍රේලියානු සමාගමක් ලෙස මෙම මස සිට වැඩකටයුතු අරඹා ඇති බව වාර්තා වේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණ වැඩසටහන යටතේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඔස්ට්‍රේලියානු සමාගමකට බදු දී ඇත්තේ රුපියල් මිලියන 600 කට අවුරුදු 30 ක් සදහා ය.
ගිවිසුම් බද්දෙන් 65% ට වැඩි ප්‍රමාණයක් ලෙස රු.මිලියන 400 ක් ආණ්ඩුවට ගෙවා ඇති අදාළ සමාගම 'ඉතිරිය පසුවට ගෙවන පදනමින්' පෙබරවාරි සිට වැඩ කටයුතු අරඹා ඇති අතර රාජ්‍ය අංශයේ ආයතන විශාල ප්‍රමාණයක භාණ්ඩ ඇනවුම්ද මේ වන විටත් ඊට ලැබී ඇතැයි වාර්තා වේ.
කලින් කම්හලේ වැඩ කළ සේවකයින් ස්වේච්ඡා පදනමින් වන්දි හිමිකම් සහිතව විශ්‍රාම ගන්වා ඇත.
තිස් අවුරුද්දක් සඳහා එම සමාගමට පැවරූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවකයන් වෙත වන්දි ලබා දීමට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණි. ඒ අනුව ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවකයන් 170 දෙනකුට පසුගිය නොවැම්බර් 30 වැනිදා රුපියල් ලක්‍ෂ 3500 කට වැඩි මුදලක් වන්දි වශයෙන් ලබා දීමට නියමිතව තිබුණි.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඕස්‌ට්‍රේලියානු සමාගමට, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් බදු පදනම මත පවරා දෙනු ලැබීමෙන් අනතුරුව මෙම වන්දි ලබාදීම කොළඹ පදනම් ආයතනයේදී සිදු වන බවත්, ඒ සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා, නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න යන මහත්වරු සහභාගි වන බවත් පෙර නිවේදනය කර තිබුණි
ඇඹිලිපිටිය, කඩදාසි කම්හල ඕස්ට්‍රේලියාවේ පර්ත් ඉංජිනියරින් ඇන්ඩ් මේන්ටේන්ස් සමාගම වෙත පවරා ඇත්තේ රජයේ ඉහළම තක්සේරු වටිනාකම යටතේ බව ඒ සමගම රජය අවධාරණය කළේ ය.
එම කම්හල අදාළ සමාගම වෙත පවරා ඇත්තේ සොච්චම් මුදලකට යැයි ඇතැමුන් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි‍්‍රත තිසේරා සඳහන් කර තිබුණේ රජයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලෙසිනි.
රජයේ ප්‍රතිව්‍යුහගත වැඩ පිළිවෙළ යටතේ තිස් අවුරුදු බදු ක්‍රමයට මෙම කම්හල ඕස්ට්‍රේලියානු සමාගම වෙත පවරා තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා කඩදාසි කම්හලේ ගොඩනැඟිලි සඳහා රුපියල් මිලියන 350 ක්ද ඉඩම සඳහා රුපියල් මිලියන 50 ක් ද අය කර ගෙන තිබෙන බවත් යල් පැනගිය යන්ත්‍රෝපකරණ සඳහා රුපියල් මිලියන 400 ක් අයකර ගෙන තිබෙන බවත් ඔහු පැවසීය.
මේ අතර ඇමැතිවරයා සඳහන් කළේ මෙම ඉඩමේ වටිනාකමින් සියයට 4 බැඟින් හා ගොඩනැඟිලිවල වටිනාකමින් සියයට 6 බැඟින් වාර්ෂිකව රජය විසින් බදු අයකර ගන්නා බවයි.
රජය සතු ඉඩම් පෞද්ගලික අංශයට විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව සඳහන් කළ රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයා, ඇඹිලිපිටිය කඩදාසි කම්හල සියයට සියයක්ම රජය සතු බව ද කීවේය.
ඊට අමතරව මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඒ මහතා කියා සිටියේ අදාළ කම්හල පවරා ඇත්තේ කොන්දේසි සහිතව බවත්, එම කොන්දේසි කඩ කරන්නේ නම් අදාළ බදු ගිවිසුම අහෝසි වන බවත් ය.
මෙම කම්හල පවරා දීම වඩා විනිවිද භාවයෙන් සිදු කර තිබෙන බවත්, මේ සඳහා රජයේ තක්සේරු ක්‍රමය භාවිතා කර තිබෙන බවත් කී ඇමැතිවරයා, පසුගිය 2003 වසරේ සිට සමාගම වසා දමා ඊට අයත් කොළඹ පිහිටි දේපළ පෞද්ගලික අංශයට විකුණා දැමූ බවත් කීවේය.
පසුගිය 2008 වසරේ දී කම්හල සම්බන්ධයෙන් යම් කැළඹිලි තත්ත්වයක් හටගත් පසු වසර එක හමාරක පමණ කාලයක් යළි වැඩ කළ බව සිහිපත් කළ දයාශි‍්‍රත තිසේරා එම කම්හලේ දේපළ විකුණමින් කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවූ බව ද සඳහන් කළේ ය.
මේ අතර ඇමැතිවරයා සඳහන් කළේ මෙම කඩදාසි කම්හලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මාසිකව රජය රුපියල් ලක්ෂ 43 ක් වැය කළ බවත්, නව ක්‍රියා මාර්ගය හේතුවෙන් රජයට තිබූ බරක් ඉවත්ව ගිය බවත් ය.
තම අමාත්‍යාංශයේ කාර්ය භාරය මෙය බව පෙන්වා දෙන රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයා, රජයේ දේපළ කිසිඳු විකිණීමකින් තොරව ලාභ ලබන තත්ත්වයට පත් කිරීම අරමුණ බවත් මෙය හුදෙක්ම යහපත් ක්‍රියාවක් බවත් ය.
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවය කළ සේවක සේවිකාවන්ට සිය සේවා කාලය අනුව ඉහළම වන්දියක් ලබා දෙන බවත්, පී. ඩී. 10 ප්‍රතිපත්තියට අනුව මීට පෙර ඉහළ ශ්‍රේණිය සඳහා රුපියල් ලක්ෂ 6 ක්ද මධ්‍යම ශ්‍රේණිය සඳහා රුපියල් ලක්ෂ 5 ක් සහ පහළ ශ්‍රේණිය සඳහා 450000 ක් ලබා දුන් බවත් පැවසී ය.
නමුත් රජයේ ප්‍රතිපත්තියට අනුව ඉහළම වන්දි මුදලක් පිරිනමමින් ඉහළ ශ්‍රේණිය සඳහා රුපියල් 750000 ක් ද මධ්‍යම ශ්‍රේණිය සඳහා රුපියල් 650000 ක් ද සහ පහළ ශ්‍රේණිය සඳහා රුපියල් 600000 ක වන්දියක් පිරිනමන බව පැවසූ දයාශි‍්‍රත තිසේරා ඇමතිවරයා එම සෑම සේවකයෙකුට ම මෙම වන්දි මුදලට අමතරව රුපියල් 100000 ක මුදලක් පිරිනැමීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
ඒ අනුව, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ඔස්‌ලංකා පේපර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් නමින් 2012 පෙබරවාරි 04 වන දින සිට නිෂ්පාදන කටයුතු ඇරඹීය.
කෙසේ වෙතත්, ජාතික කඩදාසි සංස්ථාවට අයත් ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව රුපියල් මිලියන 600 ක් තරම් සුළු මුදලකට ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගම වෙත 30 අවුරුදු කාලයක් සඳහා බදු දීම හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පැවැසීය.
එමෙන් ම රටට අයත් අමිල සම්පතක් විදෙස් සමාගමකට පවරා දීම පිළිබඳ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව ද ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි අතර, ඉහළ ම තත්ත්වයේ ගුණාත්මකභාවකින් යුත් කඩදාසි නිෂ්පාදන හැකියාවක් සහිත යන්ත‍්‍ර සූත‍්‍ර පද්ධතියකින් හෙබි මෙම සමාගමත් අක්කර 250 කට වැඩි භූමියත් අඩු මුදලකට විකුණා දැමීම අපරාධයක් බව ද එම පෙරමුණ පෙන්වා දී තිබුණි.








