අමෙරිකාවෙන් එන්නේ බලපෑම් කරන්න නොවේ-රටේ ප්‍රගතිය බලාගෙන යන්නයි

මෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පැමිණීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවට උපදෙස් දීමට හෝ කිසිඳු ආකාරයක බලපෑමක් කිරීමට නො වන බව රජය අවධාරණය කරයි. මේ නිලධාරීන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට සහ ලක් රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම - පැවසීය.

ලෝකයේ සෑම රටකම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රජයේ නිලධාරීන් එරට කොංග්‍රස් මණ්ඩලයට හා සෙනෙට් සභාව වෙත වාර්තා කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා, එවැනි තොරතුරු ලබා ගැනීම සඳහා නිලධාරීන් ලෝකයේ විවිධ රටවලට පැමිණෙන බවත්, ඊට සමගාමීව නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ද පැමිණීමට නියමිත බවත් සඳහන් කළේය.

මේ ආකාරයට එක් එක් රටවලට පැමිණෙන අමෙරිකානු නිලධාරීන් ඒ ඒ රජයන් සමඟ මෙන්ම තානාපති කාර්යාල, විවිධ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බව පෙන්වා දෙන ලේකම්වරයා ශ්‍රී ලංකාවට ඔවුන්ගේ පැමිණීම අතිශය වැදගත් බව ද පෙන්වා දුන්නේය. එහිදී ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති හා වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ හැකි බව ද හෙතෙම කීවේය.

යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය, අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීම, ඉදිරි සැලසුම් ආදිය සම්බන්ධයෙන් මේ නිලධාරීන් දැනුවත් කළ හැකිවන බව පැවසූ කරුණාතිලක අමුණුගම මහතා, රජය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන බව ද අවධාරණය කළේය.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා ද මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් ආරක්ෂාව පිළිබඳ ඇමෙරිකානු නියෝජ්‍ය ලේකම් මේරි ඔටෙරෝ මහත්මිය ද ලබන 12 දා ශ්‍රී ලංකාවට පැමිණෙති.

අප මෙම පුවත රජයේ ම මාධ්‍යයකින් උපුටා දක්වන්නේ, රජයේ අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ මීට දින දෙකකට පෙර කියා සිටියේ මීට හාත්පසින්ම වෙනස් කතාවක් වූ නිසා ය. ඇමති විමල්ගේ කතාව ලංකාසිටිසන් හි පළ වූ අතර එය මෙම විද්‍යුත් ඇමිණුම ඔස්සේ කියවිය හැකිය.
http://www.lankacitizen.com/index.php/si/inside/front-page/56-hot-news/834-wimal

මේ එම පුවතින් කොටසකි.
''...... ලබන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුඵවේ දී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට නියමිතයි. ඔවුන් එමගින් ඉල්ලා සිටීමට සූදානම් වන්නේ යුද අපරාධ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බව යි. එම යෝජනාව ජයග‍්‍රහණය කරවීම සදහා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ලෝකය පුරා ගමන් කරමින් සිටිනවා.... යනුවෙන් විමල් වීරවංශ ඇමතිවරයා ප‍්‍රකාශ කළේ මාතලේ, නාඋල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘‘සිරිපුර’’ ජනසෙවණ විරු ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින්ය.,,,"

මේ අතර අද රජයේ මාධ්‍ය පළ කළ තවත් පුවතකින් කියැවෙන්නේ ද ඇමෙරිකාවේ සද්භාවයයි. මෙන්න එම පුවත....

උගත් පාඩම් කොමිසමේ අරමුණු වෙනුවෙන් උපරිම සහාය දෙනවා
අමෙරිකාව අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ ඉලක්කගත අරමුණු වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.

මෙම කොමිසමේ අවසන් වාර්තාව මඟින් අනාගත වැඩපිළිවෙළ හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු නිර්දේශයන් ඉදිරිපත්කර තිබෙන බවද එය එක්තරා විදියක ශ්‍රී ලංකාවේ සාමය හා සමෘද්ධිය යළි උදාකර ගැනීමට බෙහෙවින්ම ඉවහල් වන්නක් බවද දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ 64 වැනි ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් අමෙරිකා එක්සත් ජනපදයේ කොලොම්බියානු දිස්ත්‍රික් සරසවියේදී පැවැති විශේෂ උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

වොෂිංටන් නුවර පිහිටි අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ නිදහස් සැමරුම් උළෙල සංවිධාන කර තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන, අදහස් දැක්වීම් ආදිය පැවැති බවද මේ සඳහා විදේශ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් විශාල පිරිසක් සහභාගි වූ බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම උළෙල යුද ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රගතිය ඉස්මතු කරන්නක් විය.

මෙම නිදහස් සැමරුම් උළෙල අමතමින් ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සඳහන් කර ඇත්තේ යුද ගැටුම්වලින් පසුව එයින් ඇතිවූ තුවාල සුවපත් කිරීමේ විශාල වැඩපිළිවෙළක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විසින් ආරම්භ කර තිබෙන බවයි.

මේ සැලැසුම් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවට ප්‍රබල සාක්කි පවතින බව පෙන්වාදී තිබෙන ශ්‍රී ලංකා තානාපතිවරයා උතුරේ ජනජීවිතය වේගයෙන් වර්ධනය වීම, ආර්ථිකය ප්‍රබල මට්ටමක පැවතීම, පශ්චාත් ගැටුම් පිළිබඳ අඛණ්ඩව ක්‍රියාත්මක වීම, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස්ව හා සාධාරණව පැවතීම ආදිය ;හ්තුවෙන් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ පුරවැසියන් සමෘද්ධිමත් වනු ඇතැයි ද ප්‍රකාශ කර ඇත.

පුරවැසි මාධ්‍ය භාවිතයක නියැලෙන ලංකාසිටිසන්හි අපි රජයේ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් මෙසේ අසමු. පදනම් විරහිත ප්‍රකාශ කරන්නේ රජයේ ඇමතිවරුන් ද...? නො එසේ නම්- රජයේ මාධ්‍ය අරක්ගෙන සිටින්නවුන් අසත්‍ය වාර්තා ලියන්නේ ද...?