දුම්රිය පීලි තොගයක් ඇතුලු, ටෙලිකොම් ආයතනය සතු අබලි යකඩ ටොන් 1828 ක් ගලවා ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි, ශ්‍රී ලංකාවේ රජයේ මාධ්‍ය ආයතනයක් වන, ස්වාධීන රූපවාහිනියේ විධායකයකු වන සුදර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මිරිහාන වංචා විමර්ශන අංශයට නියෝග කළා ය.

පැමිණිලිකරුවන් වන අනිල් තිලක් බණ්ඩාර හා අශෝක කුමාර ජයතිලක වෙනුවෙන් කැරණු දැක්වූ නීතිඥ ජී.පී. කරුණාරත්න කියා සිටියේ සැකකරු බලවත් පුද්ගලයකු නිසා පොලිස් හා අධිකරණ නියෝග නො සලකා හැර ඇති බව යි. නීතිය හමුවේ කිසිවකු බලවත් නැතැ යි කී මහේස්ත්‍රාත්වරිය තරාතිරම නො බලා ඔහු අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළා ය.

මොහු අත්අඩංගුවට ගන්නා‍ ලෙස 2011 ජූලි මස 19 වන දින ද මෙ වැනිම නියෝගයක් නිකුත් වී තිබුණි.


මෙ එදා පළ වූ වාර්තාවකි.......ටෙලිකොම් ආයතනය සතු අබලි යකඩ ටොන් 1828 ක් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට අලෙවි කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් අයථා ලෙස ලබාගෙන ඇතැයි යනුවෙන් එල්ල වී ඇති චෝදනාවකට අනුව ස්වාධීන රූපවාහිනියේ සේවයේ නියුතු මාධ්‍යවේදී සුධර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කර තිබේ.

එම අබලි යකඩ ලබාදීම සඳහා ටෙලිකොම් ආයතනයේ උසස් නිලධාරීන්ගේ නමින් ව්‍යාජ ලේඛන සකස්කර දී රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් එම ව්‍යාපාරිකයන්ගෙන් ලබාගෙන ඇති බව අධිකරණයේදී ප‍්‍රකාශ වී ඇත.

එම ලේඛන ටෙලිකොම් ආයතනයට ඉදිරිපත් කර අබලි යකඩ ලබාගනීමට එම ව්‍යාපාරිකයන් උත්සාහ කළ අවස්ථාවේ දී ඒවා ව්‍යාජ ලේඛන බවට ටෙලිකොම් ආයතනය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පසුව සැකකාර ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, අනතුරුව සිදුකළ පරීක්‍ෂණවලදී මෙම ව්‍යාජ ලේඛන සකස්කර දීම සඳහා මාධ්‍යවේදී සුධර්මන් රදලියගොඩ මැදිහත් වී ඇති බව අනාවරණය වී තිබේ.............

ඉන් පසුව 2011 අගෝස්තු 24 දින වන විටත් මොහු අත්අඩංගුවට ගෙන නොතිබුණි. මේ එදා පළ වූ පුවතකි......ශ‍්‍රී ලංකා ටෙලිකොම් ගබඩාවකින් පරණ යකඩ ටොන් 1828ක් පරණ යකඩ වෙළෙඳුන් දෙදෙනකුට විකිනීම සඳහා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු අංශයේ නියෝජ්‍ය කලමනාකරු සුධර්මන් රදලියගොඩට එරෙහි පරීක්ෂණ වාර්තා කොළඹ වංචා විමර්ශන අංශයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දී තිබේ.

සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබුණත් ඔහු අධිකරණයට වාර්තා කර නොතිබිණි.

එම යකඩ තොගය නිකුත් කරන ලෙස රදලියගොඩ ඔවුනට දී ඇති ලිපියේ ටෙලිකොම් ප්‍රධාන ගබඩා බාරකරු ලෙස ව්‍යාජ අත්සනක් තබා ඇතැයි ද අධිකරණයේ දී සඳහන් විය.......

මෙහි පහතින් උපුටා පළ කරනු ලබන්නේ රජයේ මාධ්‍යයක 2009 නොවැම්බර් 29 වන දින පළ කළ ඔහු පිළිබද තවත් වැදගත් පුවතකි.

සුධර්මන් රදලියගොඩට ශ්‍රී ල නි ප සංවිධායක ධුරයක්

මාධ්‍ය තුළින් ජනතාව නිවැරැදි මාවතකට මෙහෙයවමින් සිදුකරන ලද ජාතික මෙහෙවර අගයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරයට මාධ්‍යවේදී සුධර්මන් රදලියගොඩ පත්කරනු ලැබ තිබේ. හෙතෙම 1999 ජනවාරියේ සිට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට එක්විය.

අනතුරුව එහි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්විය. වසර 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ තුලාව දේශපාලන සංවාදය මෙහෙයවමින් පේ‍්‍රක්ෂක ජනතාවගේ ආදරය දිනාගත් සුධර්මන් වන්නි මානුෂික මෙහෙයුමේ දී නිවැරැදි තොරතුරු එසැණින් පේ‍්‍රක්ෂක ජනතාවට ගෙන ඒමට ද පුරෝගාමීව කටයුතු කළේ යුද බිමට ද නිරන්තරයෙන් ගමන් කරමිනි.

ඔහු කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු ද වූ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සුධර්මන් රදලියගොඩ මහතාට සංවිධායක ධුරයට අදාළ ලිපිය බාර දුන් අවස්ථාවයි මේ.