ශ්‍රී ලංකාවේ පැවැත් වූ පසු ගිය ජනාධිපතිවරණයේ විරුද්ධ පක්ෂයේ හෙවත් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ හිටපු හමුදා පති, ජෙනරාල් සරත් ෆොන්සේකාට ඉදිරි මාස දෙක (2) ඇතුළත නිදහස ලැබෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් "ලංකාසිටිසන්" වෙත දැන ගන්නට ලැබේ.
සරත් ෆොන්සේකාට ලබා දෙන නිදහස පිළිබදව මේ වන විට ප්‍රධාන දෙපාර්ශවය අතර යම් යම් පැහැදිලි එකගතා ඇති වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රධාන විරුද්ධ පක්ෂ බලවේග ලෙස සරත් ෆොන්සේකා පාර්ශවය වත්මන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ගෙන යන විරෝධතා මෙම නිදහස ලබා ගැනීමට බාධාවක් නො වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සංධානයේ මන්ත්‍රී අර්ජුන රණතුංග විශ්වාසය පළ කර ඇත.
තත්ත්වය මෙසේ වුව ද සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම උදෙසා මොර දෙන ඇතැම් කණ්ඩායම් මෙන්ම ඇතැම් මාධ්‍යයන් ද මෙම නිදහස පිළිබද ආරංචිවලට එතරම් ප්‍රසිද්ධියක් ලබා නො දීම පිළිබදව සැකයක් ද මතු කරන තත්ත්වයක් පෙණෙන්නට තිබේ.
මේ වන විට සරත් ෆොන්සේකා වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග සදහා එක්සත් ජාතික පක්ෂය ඍජුව සම්බන්ධ කර නො ගැනීමට සරත් ෆොන්සේකා පාර්ශවය ඍජු පියවර යන් ද ගෙන තිබුණි. මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල අයිතිකාරයන්ට සේම ප්‍රතිසංවිධාන කණ්ඩායමට ද සරත් ෆොන්සේකාට "පැනලා දෙන්නට" වන තත්ත්වයක් උද්ගත වී තිබේ.
පසු ගිය අටවන දා උද්ඝෝෂණයේ දී මේ තත්ත්වය මනාව කැපී පෙණුනි. එසේ වුව ද තවත් පාර්ශවයකින් කියැවුණේ රනිල් පාර්ශවය අටවන දා උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට වෙනම පියවරක් අනුගමනය කර ඇති බවකි. මේ පිළිබදව සජිත් සහ තිස්ස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව ද එම ආරංචි මාර්ග කියයි.
රනිල් ගේ අටවනදා උද්ඝෝෂණය එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරයෙක් හැදින්වූයේ එයාර් කන්ඩිෂන් උද්ඝෝෂණයක් ලෙසයි. සමස්ත මන්ත්‍රී කණ්ඩායම ෆොන්සේකා ගේ උද්ඝෝෂණයට සහභාගී වීම වැළැක්වීම සදහා සහ ඔවුන් වෙන් වෙන් වශයෙන් එම සටනට පිරිස් ඒකරාශී කිරීම වැළැක්වීම සදහා රනිල් විසින් වායු සමනය කළ බස්රථයක් සූදානම් කර තිබුණි.
කෙසේ වෙතත් අදාළ උද්ඝෝෂණයේ පසු විපරම් කිරීමේ දී මේ උද්ඝෝෂණ ක්‍රියාවලිය තුල එක්සත් ජාතික පක්ෂය ඍජුවම නො මැති බව හෙළිදරව්වෙයි. මෙහි පහතින් උපුටා පළ කරන වාර්තාව ඒ සදහා හොදම නිදසුන යැයි අපි විශ්වාස කරමු.
"......... විජිත හේරත් මන්තී‍්‍රවරයා ජනරාල් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ උද්ඝෝෂණයට සහභාගීවීමෙන් අනතුරුව 08 වෙනිදා හවස පාර්ලිමේන්තුවට ගියේය. එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ලොබියේ දී විජිත හේරත් මහතාට මුහුණට මුහුණ හමුවිය. ‘උද්ඝෝෂණය කොහොමද විජිත මන්තී‍්‍රතුමා’ රනිල් වික‍්‍රමසිංහ මහතා අසා සිටියා. එහිදී පිළිතුරු දුන් විජිත හේරත් මහතා.
‘මහාධිකරණය ළඟ උද්ඝෝෂණය ඉවර කරලා යන්න හදන කොට අපිට ආරංචි වුණා ෆොන්සේකා මහතා ප‍්‍රතිකාර සඳහා රෝහලට රැගෙන නොයා නැවත බණ්ධනාගාරයට ගෙන ගියා කියලා. අපි තීරණය කළා පෙළපාලියකින් වැලිකඩ බණ්ධනාගාරයට විරෝධතා පාගමනක් යන්න ඕන කියලා. අපි වැලිකඩට පාගමනකින් ගියා. උද්ඝෝෂණයත් පාගමනත් සාර්ථකයි.’
‘ජෙනරල් ෆොන්සේකා නිදහස් කරගැනීමේ සාකච්ඡා කොහොමද?’ රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත විජිත මන්තී‍්‍රවරයාගෙන් විමසා සිටියා. ‘අපි නම් දන්නේ නැහැ. ඒ සාකච්ඡාවලට අපි සම්බන්ධ නෑ. ඒ විස්තර ගැන කියන්න අපි දන්නේ නැහැ. ෆොන්සේකා මහත්තයගේ පවුලේ සාමාජිකයනුත් ටිරාන් අලස් මහත්තයත් එකතු වෙලා තමයි ඒ සාකච්ඡා කරගෙන යනවා කියන්නේ. ඒ නිසා ඒ විස්තර දැනගන්න වෙන්නේ ඒ උදවියගෙන්ම තමයි. උසාවිය ළඟ තිබුණ උද්ඝෝෂණය අවස්ථාවේදීත් ‘සාකච්ඡා අපිට එපා’ කියලා උද්ඝෝෂණයට ඇවිල්ල හිටපු අය කෑගැහුව්වා.’ විජිත හේරත් මහතා පිළිතුරු දුන්නේය.
ජෙනරල් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලා පැවැති එම විරෝධතාවයට දේශපාලන පක්‍ෂ රැසක් සහභාගී වී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති යන මන්තී‍්‍රවරුන් සහභාගී වී සිටියහ. ......"
මේ වාර්තාව සත්‍යම නම් එහි අඩංගු කරුණු සරත් ෆොන්සේකා සහ වත්මන් නිල විපක්ෂය අතර වන සබදතා පිළිබද බොහෝ දේ ඔබට අවබෝධ කරවනු ඇත.









