ක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස පත් කිරීමට රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ගත් තීරණයට කරූ ජයසූරිය මන්ත්‍රීවරයාගේ පාර්ශවය එකගතාවයක් නො දැක්වීමට තීරණය කරනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.

පසුගිය දෙසැම්බර් 19 වන දා පැවැති එක්සත් ජාතික පක්ෂ නායකත්ව තරගයේ දී, නියෝජ්‍ය නායකත්වයෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ද ඉතා සක්ෂම ලෙස කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා පියවර ගැනීමෙන් අනතුරුව, ආසන සංවිධායකවරුන් පත් කිරීමේ දී ද කරූ ජයසූරිය මන්ත්‍රීවරයා අපහසුතාවට පත්වන ආකාරයේ පියවරක් ගෙන ඇති බව මේ අනුව පැහැදිලියැයි ඔවුහු විශ්වාස කරති.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන අරගලය මේ වන විට නතර වී ඇත්තේ ප්‍රති සංවිධාන පිල නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පමණක් කෘත්‍යාධිකාරීමණ්ඩලය තුල නියෝජ්‍ය නායක නම් තනතුරක් පමණක් ඉතිරි කරමිනි.

පෙරේදා (2012 පෙබරවාරි 09) රැස් වූ බවට ප්‍රසිද්ධ කර ඇති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් නම් කර ගත නො හැකිව තිබූ ආසන සංවිධායක ධූර කිහිපයක් සදහා කිහිප දෙනෙක් නම් කර ඇති බව ද මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණි. ඒ අනුව වඩාත් ප්‍රකට වූයේ කරූ ගේ පත්වීමයි.

කරූ පත් කර ඇති මහර ආසනයේ සංවිධායකවරයා වූයේ ජෝර්ජ් පෙරේරා පළාත් සභා මන්ත්‍රීවරයා ය. ඔහු ද ප්‍රති සංවිධාන පිලට සහාය දැක් වූවෙකි. මේ අනුව ප්‍රතිසංවිධායකයින් අපහසුතාවට පත්කරමින් කළ සංවිධායක ධූර වෙනස් කිරීමක් තුල රනිල්ගේ උපක්‍රමික බව නැවැතත් ප්‍රකට කර තිබේ.

කෙසේ වෙතත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී බුද්ධික පතිරණට සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහට තවමත් නිශ්චිත සංවිධායක ධූර ලබා දී නැත. මෙයට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්තිලකට, මෛත්‍රී ගුණරත්න සහ බනුදුලාල් බණ්ඩාරිගොඩ යන අයටත් ආසන නො දී කොන් කිරීමට රනිල් තීරණය කර ඇත.

එසේ වුවත් දැනට එක්සත් ජාතික පක්ෂය තුල ඉතිරි වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලන්ටම ආසන සංවිධායක ධූර හිමිවන බවට රනිල් පාර්ශවය ආරංචි පතුරුවා ඇත. දයාසිරි අභියෝගයක් ලෙස භාර ගැනීමට සිදු වී ඇති නිසා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ඔහු නියෝජනය කළ ආසනයම නැවැත ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ප්‍රතිසංවිධානය වෙනුවෙන් පෙනී සිටි අය සදහා යුක්තිය ඉෂ්ට කිරීමට හැකි අයෙක් කෘථ්‍යාධිකාරීමණ්ඩලය තුල නැතැයි අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රති සංවිධාන වෙනුවෙන් පෙනී සිට හොට බිම ඇන ගත් හිටපු සංවිධායකවරයෙක් පැවැසී ය. මේ හේතුව සහ තවත් විශේෂ කරුණු ගණනාවක් මුල් කර ගනිමින් ඉදිරියේ දී "එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති සංවිධානය යන්න ගගට කැපූ ඉන්නක් බවට හෝ සුළගේ පා වූ සුසුමක්"බවට පත්වන ලකුණු දැනටමත් පහළ වී ඇත.

කෙසේ වෙතත්, පෙරේදා කරන ලදැයි කියන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූර පත් කිරීම පිළිබදව මෙතෙක් කිසිවෙකුටත් නිල වශයෙන් දැනුම් දී නැතැයි ද පැවැසේ. ඒ අනුව නිල දැන්වීම හෝ පත්වීම හෝ ලද පසුව අදාළ සංවිධායකධූර ලද්දන්ගේ ප්‍රතිචාර දැක ගත හැකි වනු ඇත.