ජනතා බදු මුදලින් තෙං කෙළින මහත්හොරුනි; අනේ මොහාතකටවත් සදාචාරවත් වන්න...
හලාවත ධීවර සොයුරා මරා දැමූ තැන පටන්, රජයේ හෙවත් පොදු ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා අධික බදු මුදල් මත යැපෙන මාධ්‍ය ආයතන කිහිපයක පුවත් සිරස්තල දුක්විදින ජනයා ම වැරදිකරුවන් කරමින් පුවත් පළ කරන අයුරු දැක ගත හැකි ය. මෙම පාහර ක්‍රියාවලිය, මෙම ලිපිය ලියන මෙම මොහොත දක්වාම නතර වී නැත.
පෙරේදා හලාවත දී මරා දැමුණු ඇන්ටනි ප්‍රනාන්දු ධීවර සොයුරාට දරු දෙදෙනෙකි. එම දරු දෙදෙනා තම පියාගේ වියෝව හේතුවෙන් ඇඩූ කදුළින් පසුවන ඡායාරූප ලොව පුරාම ප්‍රචලිත වී තිබේ.
ඇන්ටනී සොයුරාගේ වැඩිමල් දියණියගේ උණු කදුළු කැට දකින ඕනෑම ළයැත්තෙකුගේ නෙතට කදුළක් නැගෙනු නියතය. සුසුමක් හෝ හෙළනු නියතය. ඇත්තනී ගේ දරු දෙදෙනා අසරණව දෙවියන්ට දුක කියනු ඇත. ඔවුන්ගේ මව මෑතක දී මැද පෙරදිග ගෘහ සේවයට ගොස් ඇත්තේ දරිද්‍රතාව ඉහ වහා ගිය නිසාම බව පැහැදිලි ය. පෙරටත් වඩා මෙම දරු පවුල අද අනාථ භාවයට ඇද වැටී ඇත. ඔවුන් ඉන් මුදවා ගන්නට අද දෙවියන් වහන්සේට තියා දෙවියන්ගෙත් දෙවියන්ටවත් නො හැක.
මරා දැමුණු ඇන්ටනී ගේ බිරිය අද උදෑසන යළි මවු රටට පැමිණියේ, වෙඩි තබා විනාශ කළ කැදැල්ලේ අරක්ෂකයාගේ දේහය දැක ගැනීමට විනා දරු දෙදෙනාගේ අනාගතය සරු කිරීම උදෙසාවන බලාපොරොත්තුවෙන් නොවේ. යළි මවු බිමට පා තැබූ ඇය දුක දරා ගත නො හැකි වූ වික්ෂිප්ත භාවයෙන් කිසිවක් කතා කර ගත නො හැකිව සෑහෙන වේලාවක් සිටියාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අන් කවරදාකවත් සිදු නො කළ අයුරින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දුප්පත් ජනතාව වීදි බසින්නේ කැකෑරෙමින් තිබූ ජීවන කොරේට ඉන්ධන මිල මරේත් වැටුණු නිසාය. වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී සොයුරාගේ දරු පවුල වත්මන් ලාංකේය දුක්විදින ජනයාගේ සංකේතයක් වී ඇත. ජීවන වියදම දරාගත නො හැකිව අඹුවන් නොරටුන්ගේ බැල මෙහෙවරට යැවීමට පවා සිදු වී ඇති සමාජ වට පිටාවක අද්දැකීම් ඇත්තෙක් ලෙස ඇන්ටනී උද්ඝෝෂණයට පණ පොවා ඇත. එනයින් ඔහු සැබෑ උද්ඝෝෂකයෙකි. කෑම දිරවීමට හෝ ජාමේ බේරා ගැනීමට ප්‍රදර්ශනාත්මක උද්ඝෝෂණයේ යෙදුණෙක් නො වන ඇන්ටනී වත්මන් ශ්‍රී ලංකේය දුක්විදින ජනතාවගේ සැබෑ අරගලයට ජීවයදුන්නෙක් වෙයි.
මෙවන් පසු බිමක 2012 ඉන්ධන මිල ඉහළ දැමීමේ උද්ඝෝෂණ රට පුරා ඇවිළෙද්දී රජයේ මාධ්‍ය ආයතන බොහොමයක ලියන අප්පුලා සහ කියවන අප්පුලා (ස්ත්‍රී සහ පුරුෂ දෙපක්ෂටම අදාළය) අසංවේදී අශික්ෂිත භූමිකාවකට පණ පොවමින් සිටින බව දැකීමත් - ඇසීමත් පිළිකුල් සහගතය. මෙයට අදාළව ඇතැම් පුද්ගලික පරිපාලනයේ පවතින මුත්, රජයේ පදයට නටන ඇතැම් මාධ්‍ය ආයතන පිළිබදවත් දුකට පත් ජනතාව පසුවන්නේ වෛරයකින් බව ද පනෙන්නට තිබීම විශේෂත්වයකි.
රජයේ ලියන අප්පුලාගේ වාර්තා පිළිබද එකින් එක උදාහරණ ගෙනහැර පාන්නට නොයා, අද (2012 පෙබරවාරි 17) පළවූ පත්‍රයක මුල් පිටුවක් පමණක් දක්වමු.
ඒ සමගම අපි පල රහිත හෝ අනුවන ආයාචනයක් සේ යමෙකුට හැගුණත් මෙසේ ඉල්ලමු. "අනේ... අපේ බදු මුදලින් පඩි ලබමින් බත් හුලක් හෝ බුදින ලියන්නනි; දුක දරාගත නො හැකිව සටනට වැද මළ මිනිසුන්ගේ දේහයටත් අවමන් නො කර මොහොතකටවත් සදාචාරවත් වන්න......"
- ජනිත් විපුලගුණ - 2012 පෙබරවාරි 17
මෙහි පළ කරනු ලබන ඡායාරූප උපුටා ගත් සියලු මාධ්‍ය වෙත අපගේ ස්තූතිය පළ කරමු.











