ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යාජ ලාංඡන පැළැඳගත් අයගෙන් ශ‍්‍රීලනිපය බේරාගන්න ඉදිරිපත් වන්නැයි, ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ජනාධිපත් උපදේශකවරයාගේ සොයුරු සොයුරියන් ශ‍්‍රීලනිප සැබෑ නායකයන්ගෙන් සහ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිමින් විවෘත ආයාචනයක්කර ඇත. ශ‍්‍රීලනිපය තුල ගොඩනැගෙන බලකාමී පවුල් වාදය නතර කිරීමට කාලය ඇවිත් තිබෙන බව ද ඔව්හු අවධාරණය කරති. ඔවුන් ගේ ඉල්ලීම පහතින් පළ කරමු.
අනපේක්ෂිත අයුරින්, භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර අමානුෂිකව අප අතරින් තුරන් කර තෙ මසක් ගෙවී හමාර ය. කොලොන්නාව ජනතාවගේ ආදරණීය ලකී අයියා අද අප අතර නැත. ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මානව හිතවාදියා අද අප අතර නැත. ඒ සැමටම වඩා අපේ ආදරණීය සහෝදරයා අද අප අතර නැත. ලේ විලක් මැද අන්තිම ගමන ගිය අපේ ආදරණීය සහෝදරයාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගත් අමානුෂිකයින්ට එරෙහිව සටන් වදින්නට, ඇත්ත යුක්ත පෙන්නා දෙන්නට අද කිසිවෙක් නැත. භාරත ඝාතනය හා සම්බන්ධ සියලු සිදුවීම් මාලාවම නිතැතින්ම අප සිතට පීඩා දෙන අතර ක්‍රෝධය හා වෛරය ඉස්මතු වෙන අවස්ථා ද අනන්තය අප‍්‍රමාණ ය. එ නමුදු අප ආදරණීය දෙමාපියන් නිතරම අපට සිහිගැන්වුයේ ‘පෑන කඩුවට වඩා බලවත්ය’ යන සිද්ධාන්තයයි. එනිසාම මෙය මෙසේ ලියමු.
භාරත හා සිව් පුද්ගල ඝාතනයේ අපරාධ විමර්ශන කටයුතු සිදුවන ආකාරය හාස්‍යජනක මගකට යොමුවෙමින් පවතින බැවින් මේ සම්බන්ධව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උගත් නැණවත් සාමාජිකයින් දැනුවත් කිරීමට කල්පනා කළෙමු.
‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’ එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලාරම්භක අතිගරු එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් පැවැසුවාක් මෙන්ම ඒ අනුව ජීවත්වෙමින් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ආදර්ශවත් නායකයෙක් විය. වචනයේ පරිසමාප්තියෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම පාක්ෂිකයන්ගේ නිදහස වෙනුවෙන් සටන් කළ පක්ෂයක් කළේ ය. එහෙත් අද....? නිදහස කෙසේ වෙතත්, තම පක්ෂයට දරදිය ඇදපු පාක්ෂිකයන්ගෙන් ජීවත්වීමේ අයිතිය උදුරා ගන්නා අවස්ථාවලදීවත් ඉදිරියට ඒමට පසුබසින, ආත්මාර්ථකාමී ඊනියා බඩගොස්තර වාදීන්ගේ පක්ෂයක සැබෑ සලකුණු පෙන්නුම් කරයි. පක්ෂ සාමාජිකයනි, භාරත අවසන් නින්දට පිවිසුනේ ඔබ සැමට අවදි විය යුතු කාලය එළැඹ ඇතැයි අඟවමිනි.
ශ‍්‍රී ලංකාව තුල ගොඩ නැගෙමින් පවතින පවුල්වාදී බලකාමය තුරන් කරමින් සාධාරණය උදෙසා නිර්භීතව පෙරමුණ ගත යුතු කාලය දැන් එලැඹ ඇත. එය කළ හැකි එකම පක්ෂය වන්නේද ඔබ පක්ෂය පමණි. අප සහෝදරයා ජීවත්ව සිටින කාලය තුල කොතරම් කෙනෙහිලි කම් පක්ෂය තුලින් ඔහු වෙත එල්ල වුව ද ඒ සියල්ල විඳ දරා ගනිමින් පක්ෂය අත නො හැර සිටියේ තම දෙමාපියන්ගෙන් ලැබුණු වාමාංශික පන්නරය ඔහු අගය කළ නිසාවෙනි.
සමහර විට භාරතගේ සහෝදර සහෝදරියන් වන අප ගැන ඔබ පක්ෂය එ තරම් කරුණු නො දන්නවා වන්නට ඇත. එහෙයින් සුළු වශයෙන් හෝ ඉතිහාසය මතක් කර දෙන්නට මෙය අවස්ථාවක් කරගනිමු. 1987 ජේවීපී භීෂණ සමය තුළ, අප පවුලේ සියල්ලන්ටම රට හැර යන්නට හේතු වුයේ, භාරත මරා දැමීමට පැමිණි ජේවීපී සාමාජිකයෙකු අප නිවසට ඇතුල් වී, අප පවුල මරා දැමීමට තැත්කළ නිසා ය. එදා අප පියාණන් නිර්භීතව ඔහුත් සමග සටන් කොට භාරත හා ඔහුගේ පවුලත් අප පවුලත් බේරා ගත්තේය. පසුව විදෙස් රටවල සිටි ද අප භාරතගේ දේශපාලන ක‍්‍රියාවලියට අනුබල හා උපදෙස් දෙමින් අප ඔහුව දිරිමත් කළෙමු. පවුල්වාදයට නිතැතින්ම විරුද්ධ වූ අපගේ පියා තම පවුලේ කිසිම කෙනෙකු භාරත නම පාවිච්චි කරමින් ඉදිරියට ඒම නිරතුරුවම හෙළා දුටු අතර අප සිටියේ ද ඒ ස්ථාවරයේ ම ය. ‘වතුරට වඩා ලේ ඝනය’ යන්න සැබෑ කරමින් අප සියලු දෙනා ම ඔහුගේ කරදරවල දී ඔහු පසුපසින් සිටියෙමු. මේ බව නො දත් පවුල්වාදී දේශපාලන නායකයින් පුන පුන කියා සිටියේ ‘කොහේ ඉඳන් ආපු සහෝදරයෝ ටිකද්ද මේ..?’ යනුවෙනි. එම නායකයින් එසේ සිතීම අපට නම් අරුමයක් නො වේ. ඒ මන්ද, එම නායකයින්ගේ සහෝදරයන් තමන් නිරත වූ රැකියාවලින් ඉවත්ව රටවල් අත් හැර ඔහු වටා රොක් වුයේ ජයග‍්‍රහණය දැක, එයින් උපරිම ඵල නෙලා ගැනීමට ය. අදත් ඔවුන් ඒ නෙලා ගත් උපරීම ඵල බුක්ති විඳිමින් සිටින බව රහසක් නො වේ.
භාරත හා සෝලංග ආරච්චි ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව දැනගත් මොහොතේම අපි ජනාධිපති, ආරක්ෂක ලේකම් ඇතුළු ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ නායකත්වය දැනුවත් කරමින් භාරතගේ ආරක්ෂාව තර කරන ලෙස ලිපි මගින් ඉල්ලා සිටියෙමු. නමුත් සිදු වුයේ අනිකකි. ඒ ඝාතනය සැලසුම් කළ මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂාව වැඩි කෙරුණි. එ පමණක් ද නො ව, ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ ඇමති ධූරයක්ද පිරි නැමුණි.
අද ඔබ පක්ෂය කැලණිය සහ කොලොන්නාව ආසන තුල මුහුණ දී ඇති තත්ත්වය ඉතාමත්ම ශෝක ජනකය. භාරත එදා පක්ෂයට අනතුරු හැඟවූයේ මෙවන් තත්ත්වයක පෙර නිමිති දුටු නිසා විය හැක. එක අතකට කැලණිය ප‍්‍රාදේශීය සභාව ඉතා ඉක්මණින් මාධ්‍ය හමුවට විත් ඔවුන්ගේ ජීවිතවලට ඇති වී තිබෙන මරණ තර්ජන ගැන ජනතාව දැනුවත් කළේ, තම පක්ෂය තමන්ව ආරක්ෂා නො කරතැයි යන හැඟීම තිබු නිසා විය හැක. එදා අප භාරතට පැවසුවෙත් ඉදිරියට ඇවිත් මේ මරණ කොන්ත‍්‍රාත්තුව ගැන ජනතාව දැනුවත් කරන ලෙසයි. ඔහු පක්ෂයට ආදරය කළ නිසා එයට එකඟ වූයේ නැත. අවුරුදු තිස්දෙකක් තිස්සේ ඔහු දහදිය මුගුරු හෙලූ පක්ෂයට ඔහු ආදරය කළත්, ඔහුගේ පක්ෂය ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් නො වීම අප කාගේත් අවාසනාවකි.
එදා භාරත ඇතුළු සිව් පුද්ගල ඝාතනය කළේ ඔහු ගමන්ගත් රථවාහන හරස්කොට, අවහිර කර, නතර කරමිනි. එසේ කිරීමට එම රාජ්‍ය පාක්ෂික මන්ත‍්‍රීවරයාට ලැබී තිබූ අනුග‍්‍රහය ඉතා උසස් තැනකින් ආ එකක් විය යුතු ය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රීවරයෙකු ලෙස වරප‍්‍රසාද ලබා තිබීම එයට ප‍්‍රබල හේතුවක් වුවාට සැක නැත. එමෙන්ම ඒ මිනීමැරුම සිදුවුයේ නීතිය සුරැකිය යුතු පුද්ගලයින් බලා සිටියදීම වීම, ශ‍්‍රී ලංකා නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වීම පිලිබඳ මහත් ගැටලුවක් වී තිබීම මනාව විදහා පාන්නකි. මෙ වැනි තත්ත්වයක් යටතේ විදේශ රටවල ජාත්‍යතන්තර වශයෙන් දේශපාලනයට හා මානව හිමිකම් හා සම්බන්ධ යුරෝපා සහ ඇමෙරිකා අර්ධද්වීපයේ බොහෝ නියෝජිතයන් අපට සහෝදරත්වය සහ සහයෝගය පළ කරමින් ඕනෑම අරගලයකට සහය දීමට කැමැත්ත පළ කර සිටීම අපව ධෛර්යමත් කරන්නා වූ කරුණකි.
නමුත් අප විශ්වාස කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු අප සොහොයුරා තම සොහොයුරාගේ මාධ්‍ය ජාලය බේරා ගැනීමේ අරමුණෙන් පක්ෂ මාරු කළ එ වන් පුද්ගලයෙකු අතින් විනාශ වූ නිසා ජාත්‍යන්තරයට වඩා ඔබ පක්ෂයෙන් කළ හැකි මෙහෙය ඉතා විශාල එකක් බවයි. එදා භාරතට සිදු වූ දෙය හෙට ඔබ සැමට විය හැකි ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යාජ ලාංඡන පැළඳගත් අයගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට ඔබ අද ඉදිරිපත් නො වුණොත් ඔබට යමක් සිදු වූ දාට ඔබ වෙනුවෙනුත් කතා කරන්න කිසිවෙක් ඉදිරිපත් නො වෙනු ඇත. බිම් මට්ටමේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂියන්ගේ විශ්වාසය නැවත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් යොමු කළ හැක්කේ මෙ වන් ක‍්‍රියා මාර්ගයකින් පමණි. එසේ නො වන්නේ නම් රාජ්‍ය බලය පිරිහුණු කලට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වන්නේත් අද එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති තත්ත්වයටත් වඩා අන්ත භයානක තත්ත්වයකි.
අද භාරත ජීවත් වී, ඔබ පක්ෂයේ කෙනෙකුට මෙ වැනි ව්‍යසනයක් සිදුවිණි නම්, ඔහු ඒ වෙනුවෙන් හඬ නගා හමාර ය. ඒ සිංහයාගේ හඬ අද නිහඬ කොට අවසානය. එසේ නම් තම පුද්ගලික වාසි තකා ඔබ පක්ෂයට පැමිණ, පක්ෂයේ පැරණි සාමාජිකයෙක් මරා දැමු අය ඔබ පක්ෂයේ තව දුරටත් තබාගත යුතු ද යන්න ඔබම කල්පනා කර බලන්න. මේ සම්බන්ධව ඔබ පක්ෂය ගන්නා ක‍්‍රියාමාර්ගය ගැන ලංකාවාසී ජනතාව මෙන්ම අපිදු විමසිල්ලෙන් බලා සිටින්නෙමු. එසේම මී ළඟට නීතිපතිවරයා විසින් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ගැන උසාවිය වෙත දෙන තීන්දුව ගැනද අපි විමැසිල්ලෙන් බලා සිටින්නෙමු. අප ඉදිරියට ගන්නා වූ පියවරවල් තීරණය වන්නේ මේ සියල්ල මතය.
භාරතගේ දේශපාලන ජීවිතය පියාගේ වාමාංශික පසුබිමෙන් පන්නරය ලත් එකක් විය. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වුයේ, තම මාමණ්ඩිය වන ශ‍්‍රී ලං.නි.ප.යේ කොලොන්නාව නාගරික මන්ත‍්‍රී වරයෙකු වූ පරලෝ සැපත් නන්දසේන සමරකෝන් මහතාගේ දේශපාලන කටයුතුවලට භාරත සහාය වූ, ලාබාල අවදියේ සිටම ය. ශ‍්‍රී.ලං.නි.ප.යේ ඔහුගේ ගුරුවරයා වුයේ ටී.බි. ඉලංගරත්නයන් ය. මෙනයින්, ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පුදුමාකාර ලෙන්ගතුකමක් දැක්වීය.
එකල, ඊනියා ‘නක්සලයිට්’ චෝදනාවක් යටතේ භාරත අත්අඩංගුවට ගත්තේ, එවැනි කුමන්ත‍්‍රණයක් ඔහු ගේ කොලොන්නාව නිවසේ දී සිදු කරන ලදැයි යන අභූත චෝදනාවක් ගොතා, එල්ලකරමිනි. මෙ වැනි අභූත චෝදනා එල්ලකරමින් එකල රජය සැබෑ මානව හිතවාදියෙකු වූ විජය කුමාරතුංග පාවා දෙන ලෙස භාරතට බලපෑම් කළේ ය. එහෙත්, ඔහු තරයේම කියා සිටියේ ‘හිරේ ගියත් තම ප‍්‍රතිපත්ති පාවා නො දෙන බවත්, විජය කුමාරතුංග වැනි අහිංසක පුද්ගලයෙකු විසින් නො කරන ලද දෙයක් ඔහු විසින් කළ බවට බොරු කියා, පාවාදීමක් කිසි කලෙකත් නො කරන බව යි.’
එ වැනි නිර්භය, ප‍්‍රතිපත්ති ගරුක, සටන්කාමී පුද්ගලයින් එදා බිහි කළ ඔබ පක්ෂය, අද බිහිකරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආත්මලාභී ව්‍යාපාරිකයින් ය. ශ‍්‍රී.ලං.නි.ප. සංවිධායක ධූරයක් ලබාගැනීමට අද ඇති එකම සුදුසුකම වන්නේ ව්‍යාපාරිකයෙකු වීමය. අද ඔබ පක්ෂය මුහුණ පා ඇති ශෝචනීය තත්ත්වය මෙය නොවේද?
සැලසුම් කොට, දෙනෝ දහසක් මැද, මහ දවල් ඝාතනය කරන ලද සැබෑ ජන නායකයෙකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර වැනි දේශපේ‍්‍රමියෙකු උදෙසා කවරනම් වන්දියකින් රටට, දැයට හා කොලොන්නාව ජනතාවට තබා ඔහුගේ බිරිඳට හා දරුවන්ට පමණක් වුව ද පිරිමසාලිය හැකි ද...? එතෙකුදු වුවත්, එ වැන්නක් කිරීම, භාරත වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ, භාරත මැරූ ම්ලේච්චයින් විසින්ම ඝාතනය කළ
(1) මනිමෙල් කුමාරස්වාමි (රාගම)
(2) දමිත ජයසේකර (කොලොන්නාව)
(3) මොහොමඞ් අසීම් (කොලොන්නාව)
යන ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තිදෙනා වෙනුවෙන්ද, එම බිහිසුණු සටනේ දී සිය ඇසක් අහිමි වූ පොලිස් නිලධාරි ගාමිණී සඳහා ද යතාර්ථවත් පරිදි වන්දි ලබා දීමට ඔබ පක්ෂය විසින් පෙරමුණ ගෙන ක‍්‍රියා කළ යුතු බව ද තරයේ කියා සිටිමු.
අවසාන වශයෙන්, පක්ෂයේ ප‍්‍රබල නායකයින් ලෙස, භාරත වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඔබලාට අවශ්‍ය වන ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ඉතසිතින් පතමු.
මීට,
සොවින් තැවෙන,
අසේල පේ‍්‍රමචන්ද්‍ර
ස්වර්ණා ගුණරත්න
සුනේත‍්‍රා අබේසිංහ
ධර්මා නානායක්කාර
ප‍්‍රශිලා විජේසිංහ
කැනඩාවේ වසන භාරතගේ ආදරණීය සොයුරු-සොයුරියෝ වම්හ..
අවසන් යාවත්කාලීන කිරීම (2012 පෙබරවාරි 22 වෙනි බදාදා, 09:16)








