ජෙනරාල් සරත් ෆොන්සේකා පැහැරගෙන ගොස් සිර ගතකොට අදට (2012 පෙබරවාරි 08) දෙවසරක් සපිරෙයි. මේ දිනය ස්මරණය කිරීම උදෙසා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමට කැප වූ පිරිස් පසු ගිය දින කිහිපය තිස්සේම වෙහෙස මහන්සි වී කටයුතු කරනු දක්නට ලැබුණි.

අදට සූදානම් කර ඇති අලුත්කඩේ උද්ඝෝෂණය සදහා සරත් ෆොන්සේකා පාර්ශවය සේ ම රජයේ පාර්ශවය ද දිවා රෑ නො බලා වෙහෙස මහන්සි වී කටයුතු කරනු දක්නට ලැබීමත් මෙහි ඇති විශේෂත්වයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අලුත් කඩේ ප්‍රදේශයෙන් අත්බෝම්බද සොයා ගෙන තිබුණි.

එහෙත් මෙම අත් බෝම්බ සොයා ගැනීම පිටු පස, අද පැවැත්වීමට නියමිත ජෙනරාල් වෙනුවෙන්වන උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය මෙම ක්‍රියාවලිය පිළිබදව දක්වන කැපවීම පිළිබදව ජෙනරාල් සරත් ෆොන්සේකා පාර්ශවය දක්වන උනන්දුව විදහා පාන මාධ්‍ය හමුවක් පෙරේදා දිනයේ පැවැත් වූ බවට ද මාධ්‍යවේදීන් අතර ද වූ කතාබහ නිල එක්සත් ජාතික පක්ෂ නායකත්වයතුල ද ඇති වී ඇති බව අද වන විට ප්‍රකට වී ති බේ.

ඒ අනුව නිල එජාප නායකත්ව පිළේ මහා ලේකම් තිස්ස අත්තනායක විසින්, තම පාර්ශවය අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සම්බන්ධ කර නො ගැනීම පිළිබදව මැසිවිලි නගා ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එජාපයේ අනෙක් පාර්ශවයට ද ඒ සදහා ආරාධනා කර නො තිබීමයි.

එක්සත් ජාතික පක්ෂයට වඩා වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, මනෝගනේෂන්, විජිත හේරත් වැනි දේශපාලනඥයින් සේ ම බිංදුහේවා සහ තේනුවර වැනි කලාකරුවන් රැසකට ආරාධනාකරමින් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ සටන තීව්ර කිරීමට ඔවුහු කැප වී ඇති බව පැහැදිලි විය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයින් අවශේෂ ගණයේ ලා සළකන ඉහතින් සදහන් කරන ලද දේශපාලනඥයින් ඇතැමෙක්ට වටිනාකම් ලබා දීමට ද ෆොන්සේකා පාර්ශවය කටයුතු කර ඇති බවක් මෙයින් මනාව පැහැදිලි වෙයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය අවංකව කැප ‍වන බවට විශ්වාසයක් මේ වන විට රටේ ද ජනතාව තුළ ද නැත. එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය දා සංවිධානය කළ හයිඩ් පිටියේ රැස්වීමට ජෙනරාල් නිදහස් කර ගැනීම සටන් පාඨයක් කරගත්තේ සෙනග රැස්කිරීමේ උපක්‍රමයක් ලෙස බව බොහෝ දෙනාගේ මතය විය. මෙම රැස්වීම ඇමතූ සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ කැදවුම්කරු වන කුමාර අලගියවන්නට, ජෙනරාල් වෙනුවෙන් කැපවන බව ප්‍රදර්ශනය කරන්න යැයි රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයාට ආයාචනා කරන්නට වූයේ ඒ නිසා ය.

වික්‍රමබාහු සහ සිරිතුංග වැනි දේශපාලනඥයින්ට පදනමක් නැති බව අගවමින්, තමන් සංවිධානය කරනු ලබන පොදු බවකින් යුක්ත බව අගවන ඇතැම් රැස්වීම් සදහා ආරාධනා නො කරන ඇතැමුන්ට ද, පෙරේදා පැවැත් වූ මාධ්‍ය හමුව අතුල් පහරක් වී ඇති බව ද පැහැදිලි ය.

කෙසේ වෙතත්, මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුලවන අර්බුදය වෙනත් වටයකින් ඔඩු දුවන තත්ත්වයක් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව මෙතෙක් රට හමුවේ පැහැදිලි වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පිල් දෙක වෙනුවට පිල් තුනක් දක්වා එය වර්ධනය වන බවක් පෙනෙන්නට ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැහැදිලි කරයි. ඇතැම්විට මෙම තත්ත්වය තුල පැන නැගී ඇති යම් යම් පැහැදිලි කර ගැනීම් ඇති වුව හොත්, මෙතෙක් රනිල් විරෝධී පිලේ සිටි ඇතැමෙක් ඍජුවම යළිත් රනිල් පිළ වෙත ගාල් වීමෙන්, පැහැදිලි දෙපාර්ශවයක් වීමට ද ඇති අවස්ථාව බැහැර නො කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා, ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කළු කෝපි බීමේ සිට නොව ඊට පෙර සිට ගත් ක්‍රියා මාර්ග රැසක් පිළිබදව ජෙනරාල්ගේ පාර්ශවය මේ දිනවල පුරෝකථනයන් කරනවාට ද කිසිදු සැකයක් නැත. ජෙනරාල් පොද් අපේක්ෂකයා වූ ජනාධිපතිවරණයේ සංවිධාන තලයේ දී රනිල් පාර්ශවය සමග ඇතිව තිබූ ඇතැම් ඝට්ටනයන් පිළිබදව ද මේ අතර දැන් දැන් කණින් කොනින් ඇතැම් සුවිශේෂී දේ අසන්නට ද ලැබෙයි.

මේ සියල්ල විමසන කළ පෙර සිටම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ජෙනරාල් වෙනුවෙන් අවංක කැපවීමක් තිබී නැති බව පැහැදිලි ය. මේ කරුණු වටහා ගැනීමට දරණ උත්සාහයක් ලෙස අවසානයේ, ජෙනරාල් නිදහස් කර ගැනීමේ මාධ්‍ය සාකච්ඡාවෙන් ද එජාපය හැළී යාම අරුමයක් නොවනු ඇත.

මේ අනුව කිව හැක්කේ, කෙසේ හෝ නුදුරේ දී ජෙනරාල් නිදහස් වීම තුල එක්සත් ජාතික පක්ෂ තව තවත් අර්බුදයට යාම වැළැක්විය නො හැකි බව යි. මේ තත්ත්වයෙන් එජාපය බේරා ගැනීම හෙවත් තමන්ගේ ජාමේ බේරා ගැනීම සදහා ජෙනරාල් ගේ කර මතින් එතෙර බැලීමට රනිල් දුටු සිහිනයන් ද බොද වී යනු ඇත. රනිල් ගේ ඇවෑමෙන් එජාප නායකයා වී රටේ නායකත්වය ගැනීමට සජිත්ට එජාපයක් නැති වනු ඇත. මන්දයත්, මේ මොහොතේ රටේ පවතින තත්වය තුල ජෙනරාල්ගේ නායකත්වය යටතේ සමාජගතවන බලවේගය එජාපයට වඩා ගව් ගණනක් ඉදිරියට ඒමට ඇති හැකියාව නිසා ය. එ නම් පවතින තත්ත්වය තුල එක්සත් ජාතික පක්ෂය තුන්වන තැනට පත් වීමය.

- අකලූෂ රාමනායක - 2012 පෙබරවාරි 08