කැඳවුම්කරු වෙතයි...

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුටත්; එම සංවිධානයේ තවත් කිහිප දෙනකුටත් හොඳට ම තද වී ඇති බවක් පෙනෙන්නට තිබේ. නිදහස් මාධ්‍යයේ කැඳවුම්කරු ලෙසින් පෙනී සිටින සුනිල් ජයසේකර මහතා අප පත්‍රයටත් – ආයතනයටත් අභියෝග කරමින් යම් පමණක තර්ජනාත්මක ලිපියක් එවා තිබේ. ඔවුන් ගේ කෝපයටත්; අභියෝග කිරීමටත් හේතු වී ඇත්තේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හා ටී.එන්.ඒ සංවිධානයේ සම්බන්ධය හා ඒකාබද්ධ කුමන්ත්‍රණය දිනමිණ පුවත්පත මගින් හෙළිදරව් කිරීම ය. සත්‍යය හෙළිදරව් වන විට කොයි කැඳවුම්කරුටත් තද වෙයි. ඉතිහාසයේත් එය සිදු විය. වර්තමානයේත් එය සිදු වෙයි. නිදහස් ජන මාධ්‍ය නම්; විශාල බොරුව ඉදිරියට දමමින් රටේ නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරන සංවිධාන රැසක් ශ්‍රී ලංකාවේ පවතී.

එම සංවිධානවල යටි අරමුණ ආණ්ඩුවේ ඉදිරි ගමන වළක්වමින් රටේ ඒකීය භාවයට ද අභියෝග කිරීම ය. ඔවුන්ගේ හිත මිතුරන් වනුයේ ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට උපකාර හා ආධාර සපයන සංවිධානයන් ය. එම පුද්ගලයන් ය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ටී.එන්.ඒ සමඟ ඒකාබද්ධ වන්නේ ද දෙමළ ඩයස්පෝරාවෙන් උපකාර ලබා ගන්නේ ද එම පසුබිම තුළ ය. සුනිල් ජයසේකර මහතා සිය ලිපිය මගින් කියා සිටිනුයේ ආණ්ඩුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බඳු සංවිධාන මර්දනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව හා ඒ සඳහා අසත්‍ය ප්‍රවෘත්ති ද පළ කරමින් සිටින බව ය. ආණ්ඩුව හා දිනමිණ පුවත අතර කිසිදු සම්බන්ධයක් නැත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බඳු සංවිධානයක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළකිරීමේ වුවමනාවක් ද අපට නැත. ඒ හැරෙන්නට ඔවුන් ජන මාධ්‍යයේ නිදහස හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් හෝ වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කරන ප්‍රකාශය ද පිළිගත නො හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යනු කොටි ත්‍රස්තවාදයට උදවු කිරීම ද? බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීම ද? ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් අසත්‍ය චෝදනා නැඟීම ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන පෙනී සිටින්නැ’ යි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් ඉල්ලා සිටින්නට සිදු වේ. ජන මාධ්‍යයේ නිදහස යනු ආණ්ඩුවට එරෙහි ව පෙළපාළි යෑම ද? උද්ඝෝෂණය කිරීම ද? එන්.ජී.ඕ සංවිධාන තර කිරීම ද? ඔවුන් ගේ කොන්ත්‍රාත් භාර ගැනීම ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයාගෙන නිදහස් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින්නැ’යි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් ඉල්ලා සිටින්නට සිදු වේ. මේ සංවිධානවල කිසිවකු ශ්‍රී ලංකාවේ නිදහස, සාමය, හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියේ නැත. එය වඩාත් හොඳින් තහවුරු වන්නේ මානුෂික මෙහෙයුම පැවැති සමයේ වූ සිදුවීම් වලින් ය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා අනෙකුත් සංවිධාන එදා සිටියේ කොටි සංවිධානය පැත්තේ ය.

මානුෂික මෙහෙයුම පරාජයට පත් කිරීම සඳහා ඔවුන් නොයෙක් උපාය – මාර්ග යෙදූ බවත් අපට මතක ය. ඒ සියල්ල පරාජයට පත් කරමින් කොටි ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් පරාජය කරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමත් විය. ආණ්ඩුවේ හා ජනතාව ගේ ජයග්‍රහණය පිළිගන්නට බටහිර බලවත් රාජ්‍යයන් සේම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බඳු සංවිධාන ද සූදානම් නැත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ බොහෝ දෙනෙක් කොටි සංවිධානයේ පරාජයත් සමඟ රටෙන් පිටුවහල් වූහ. ස්ව කැමැත්තෙන් මෙසේ පැන ගිය වැඩි දෙනෙක් බටහිර ශීත රටවල සුඛෝපභෝගී ජීවිත ගත කරති. ඔවුනට අවශ්‍ය මුදල් හා වෙනත් පහසුකම් ලැබෙනුයේ එන්.ජී.ඕ සංවිධාන වෙතින් හා එම රටවල ආණ්ඩුවලින් ය. මෙසේ විදේශාධාර මත යැපෙන ඔව්හු තවදුරටත් ශ්‍රී ලංකාවට එරෙහි වෙති. ජනාධිපතිවරයාට චෝදනා කරති. දැන් ඔවුන්ගේ සම්පූර්ණ රාජකාරිය වී ඇත්තේ දවස පුරා ම ශ්‍රී ලංකාවට එරෙහි ව කුමක් හෝ කිරීම ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ටී. එන්. ඒ සංවිධානය අතර සම්බන්ධයක් නැති බව ද, ඒකාබද්ධ කුමන්ත්‍රණයක් නැති බව ද කියන කැඳවුම්කාර සුනිල් ජයසේකර මහතා, සිය ලිපියේ තවත් තැනෙක අපූරු සඳහනක් කර තිබේ. එය මෙසේ ය. “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කටයුතු කරන ඕනෑ ම දේශපාලන පක්ෂයක් සමඟ හෝ බහුජන සංවිධානයක් සමඟ හෝ අත්වැල් බැඳ ගැනීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අතීතයේ මෙන් ම වර්තමානයේ දී ද මැළි නො වන අතර අවශ්‍ය වෙතොත් ජිනීවා මානව හිමිකම් කවුන්සලය ඇතුළු ව ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන ඕනෑ ම ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරියේ කරුණු දැක්වීමට ද කිසිසේත් පසුබට නො වන බව ද වැඩිදුරටත් අවධාරණය කරනු කැමැත්තෙමු”නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ගේ කතාව සම්පූර්ණයෙන් ම ඇත්ත ය. මේ සංවිධාන මීට පෙර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සහයෝගයට ද කටයුතු කළේ ය.

ජාත්‍යන්තර සංවිධාන ඉදිරියේ ද කරුණු දැක්වූයේ ය. රටට එරෙහි ව අනන්තවත් පාහර වැඩ කළේ ය. කට බොරු කීව ද දිව බොරු කියන්නේ නැතැ’ යි ගම කතාවක් තිබේ. සුනිල් ජයසේකර මහතාගේ හෘද සාක්ෂිය කතා කර කියා සිටින්නේ අපේ පත්‍රය පළ කළ ප්‍රවෘත්තිය නිවැරැදි බව ය. ඔවුන් ටී.එන්.ඒ සමඟ එක් ව මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ඇත. ජන මාධ්‍ය නමින් පෙනී සිටින සංවිධාන රැසක අරමුණ වී ඇත්තේ කුමන ක්‍රමයකින් හෝ ආණ්ඩුව අපහසුවට පත් කිරීම ය. එය බරපතළ දේශපාලන වෛරයකි. මේ වෛරයත් සමඟ කටයුතු කරන වංචාකාරයන් ජනතාව විසින් හඳුනා ගනු ලැබේ. එදාට සුනිල් ජයසේකරට පමණක් නො ව සියලු ම ඊනියා ජන මාධ්‍ය සංගම්වලට ද කට උත්තර නැති ව යනු ඇත.

නිදහස් මාධ්‍යව්‍යාපාරයේ නිවේදන පළ කරනවා සේ ම අපි අපගේ පාඨකයන් ට කියවීම පිණිස දිනමිණ කතුවරයාගේ ලිපියත් පළ කරමු.