මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයටත් ආණ්ඩුව තිත තබන්න හදනවා යනුවෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඇමැතිවරයා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කරයි. මෙ වර අයවැයෙන් මහපොළ අරමුදලට තඹ සතයක් වත් වෙන් කර නැතැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීම කිසිදු දැනුමකින් තොරව කරන ලද ප්‍රකාශයක් බව කිව යුතුයි.
මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කළ ලලිත් ඇතුලත් මුදලි මහතා පක්ෂයෙන් නෙරපූ පියාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතා මෙ වැනි ප්‍රකාශ සිදු කිරීම හාස්‍යයට කරුණක්. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සඳහා කිසිදු ප්‍රතිපාදනයක් අය-වැයෙන් වෙන් කරන්නේ නැති බවත්, එය ස්වාධීන අරමුදලක් බවත් ස්වාධීන අරමුදලක් ලෙස උපයාගන්නා සිය ආදායම පමණක් මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් සඳහා භාවිත කෙරේ.
දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් 1980 වර්ෂයේ දී මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දුන් අතර එහිදී 1981 දී මුලින්ම ශිෂ්‍යත්ව 422 ප්‍රදානය කෙරිණි.
2010 වර්ෂයේ දී ශිෂ්‍යත්ව 10000 ලබා දුන් අතර 2011 වර්ෂයේ දී තවත් ශිෂ්‍යත්ව 300ක් වැඩිපුර ලබාදී 10,300දක්වා ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව වැඩිකර ඇත. එබැවින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කිසිදු අධ්‍යයනයකින් තොරව කළ මේ ප්‍රකාශය පට්ටපල් බොරුවකි.
තවද මහින්ද චින්තනයේ ප්‍රකාශිත පරිදි සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රු. 500කින් වැඩිකර පොරොන්දු ඉටුකර ඇති බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට මතක් කර දීමට මා කැමතිය. කිසිදු ලෙසකින් මහපොළ ශිෂ්‍යත්වයට තිත නොතබන බවටත් සජිත් ප්‍රේමදාස මෙන් වගකීම් විරහිත ප්‍රකාශ නොකරන බවටත් පොරොන්දු ඉටුකර මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය දියුණු කරන බවටත් මම ප්‍රකාශ කරමි.
මහපොල ශිෂ්‍යාධාර කපා දමා ඇති බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා කරන චෝදනාවලට කිසිදු පදනමක් නැති බව මේ අතර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ද කියයි....
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය හා ශිෂ්‍යාධාර කපා දැමීමට කිසිම තීරණයක් ගෙන නැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක ප්‍රකාශ කරයි.
මේ රජය යටතේ මහපොළ හා ශිෂ්‍යාධාර ්‍රලබන ශිෂ්‍ය පිරිස වැඩිකර ඇති බව ද ඔහු කියයි.
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වයට තිත තැබීමට රජය සූදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කරන ප්‍රකාශවල කිසිම පදනමක් නැති බව ද සමරනායක සභාපතිවරයා කියයි.
මේ වන විට විශ්වවිද්‍යාලවල සිසුහු 51472 දෙනෙක් මහපොළ හා ශිෂ්‍යාධාර ලබති. 2011 වන විට මහපොළ පමණක් ලබන සිසුන් 32350 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතර සිසුහු 19077 ක් ශිෂ්‍යාධාර ලබති.
ශිෂ්‍යාධාර ලබා දීම සඳහා 2012 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 525 ක මුදලක් රජය වෙන් කර ඇති අතර ඉකුත් වසරේ වෙන් කර තිබුණේ රුපියල් මිලියන 515 කි. මහපොළ ශිෂ්‍යත්වය සඳහා රජය කිසිම අවස්ථාවක අයවැයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන්නේ නැති බවත්, මහපොළ භාරකාර අරමුදල යටතේ ලොතරැයි මණ්ඩලයෙන් ඒ සඳහා මුදල් ලබා දෙන බවත් මහාචාර්යය සමරනායක සඳහන් කරයි.
අවසන් යාවත්කාලීන කිරීම (2012 පෙබරවාරි 08 වෙනි බදාදා, 10:23)








