ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලෙක් අද සන්ධ්‍යව උදාවන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් කිරීමට පෙළඹුණේය. ඒ හෙට අවසන් වීමට නියමිත සිය නිල සංචාරය අවසන් වීමට තවත් පැය ගණනාවක් තිබිය දී ය.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත්ව ඇති බව පැවැසූ අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලෙක් ඉදිරි ක්‍රියා මාර්ග ද ඉගි කළේ ය.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ අපොහොසත් වීම් හේතුවෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සහාය දක්වන බව ද හෙතෙම අවධාරණය කළේ අද සවස පැවැති මාධ්‍ය හමුවක දී ය.
මේ අතර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලෙක් සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් අතර අද පෙරවරුවේ හමුවක් සිදු විය. නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස හෙට දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

රොබර්ට් ඕ බ්ලේක් ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවක්. මැද සිට්න්නේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තනාපතිනිය වන බෘටින්ස් ය.








