යේ ( 2012 පෙබරවාරි 15) හලාවත ප්‍රදේශයේ ඇති වූ ජනතා විරෝධයට පොලීසිය සහ හමුදාව එක්ව වෙඩි තැබීමෙන් ධීවරයෙක් එ තැන දීම මරණයට පත් වී තවත් පිරිසකට තුවාල සිදු කර ඇත. මෙම සිද්ධිය අද වන විට ශ්‍රී ලංකේය සමාජ කෙතරම් ගැඹුරින් වැළද ගෙන් ඇද්ද යන්න විමසා බැලිය යුතු තත්ත්වයකට පත්ව තිබේ.

මෑත ඉතිහාසයේ පත් වූ සෑම රජයක්ම පාහේ යුක්තිගරුක ජනතා උද්ඝෝෂණ සියල්ලක්ම තමන්ට අවාසිදායක වන තත්ත්වයට පත්වන සෑම විටකම ඒවා ඉතා තිරස්චීන ලෙස මර්දනය කිරීම සදහා පියවර ගනු ලැබී ය.

මෑත පාලන තන්ත්‍ර දෙකක් විමසන කල් හි, හෙළයේ මහා විද්වතෙකු වූ එදිරිවීර සරත්චන්ද්‍රයන්ට පහර දීමේ සිට, ඊයේ හලාවත ධීවර සොයුරාට වෙඩි තබා ඝාතනය කිරීම දක්වා සුවිසල් ඛේදයන් මේ බිම මත නිර්මාණය වී ඇත. ඇතැම් විට එම ඛේදයන් හෝ ඊටත් වඩා අතිශය භයානක මිලේච්ඡත්වයන් ප්‍රති නිර්මාණය වන තත්ත්වයන් පැහැදිලි වුව ද, දෑස් දෙසවන් අතර විනිවිද ගිය ද ඉන් පාඩමක් ඉගෙන නො ගත් ජාතියක් ලෙස ද ශ්‍රී ලංකේය ජාතිය හැදින්විය හැකි ය. ඇතැමුන් ඉන් පාඩමක් උගත් බවක් අගවන්නේ හිසරදයට කොට්ටය මාරු කිරීමෙනි.

ඒ අනුව, 1977 න් ඇරඹුණා යැයි කියූ 17 වසක එක්සත් ජාතික පක්ෂ සාපය කෙළවර කරන්නට සිතා 1994 න් ඇරඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණු සාපය කැන්දාගත් හ. අද වන විටත් එම සාපය අත් විදින්නේ එකම කාසියේ දෙ පැත්ත බදු වූ මෙම පාලන තන්ත්‍ර සියල්ලෙහිම නායකත්වයන් විසින් ආටෝපගත කරවනු ලබන විවිධ තේමාවන්ට අසීමිත ලෙස රැවටීමෙනි. මෙම රැවටීම වහල් භාවයේ කරවටක් කිමිදී සිටීමට කැමැත්තක් දක්වන රටවැසියන් ඒ තුලම කුමුදවා මරණයට පත් කරවනතුරුත් සන්තර්පණය වීම මෙහි ඇති භයානක තත්ත්වයයි.

මේ සියල්ල අභිමුව මේ රටේ වෙසෙන උගතුන්, බුද්ධිමතුන් ආදීන් ලෙස හදුන්වා ගන්නා සහ ඇතැමුන් විසින් හදුන්වනු ලබන කල්ලි කණ්ඩායම් සදහා, අණ පනත්වලින් නැතත් හිතවත් නොපනත්කම් මගින් පවරන ලද කාර්යභාරයක් ද ඉෂ්ට කරමින් සිටී. එ නම් සියලු ද්වේෂ, දෝෂ සහ අශික්ෂිත ක්‍රියා හමුවේ පණ ගැට ගසා ගනිමින් වරදට එරෙහිවන ජනතාව නිර්වින්දනය කරවීමේ ක්‍රියාවලියයි. එ නම් රට වැසියන් වෙනුවට පුරවැසියන් නිර්මාණය වීමේ පසුබිම සමූල ඝාතනය කිරීම සදහා වන මානසික මෙහෙයුම් දියත් කරවීමේ ක්‍රියාවලියයි.

මෙම ක්‍රියාවලියේ පංගුකාරයෙක් ලෙස (මේ ලිපිය ලියන මෙහොතට අදාළව) එක් චරිතයක් සරලව හදුන්වා දිය හැක. කලකට පෙර, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් හෙවත් අවනීතියට හා අසාධාරණයට එරෙහිව යැයි පවසමින් මාධ්‍ය අරක්ගෙන, මහා විදිවතෙක් සේ පෙනී සිටි ආචාර්ය ජයතිස්ස ද කොස්තා ය. අද ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වරයා ය. ඔහුගේ මූලිකත්වය දරන කොමිසම රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා ද යන පැනය නැගීමට විමසුම් සහගත රටවැසියන් පෙළඹෙනු ඇත. ඒ නිසාම රජයේ සහ රජයට ආවඩන මාධ්‍ය විසින් මහජන උයෝගීතා කොමිසමේ තීරණයක් ලෙස විදුලි බිල වැඩි කිරීමේ කතා-අන්දරය ජනතාව හමුවේ තබන්නේ මෙසේ ය.

"......ඉන්ධන මිල ඉහළයාම නිසා විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව අවම කිරීම සඳහා ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව ඒකක 0-30 දක්වා සියයට 25 කින් ද, ඒකක 31 – 60 සියයට 35කින් ද, ඒකක 60 වැඩි පාරිභෝජනයේ දී සියයට 40කින් ද විදුලි බිල වැඩි කිරීමට පියවර ගත් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා අනාවරණය කළේ ය.

විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව අවම කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමට අනුව මේ පියවර ගත් බව ද කොස්තා මහතා ප්‍රකාශ කළේ ය......"

මෙම සූත්‍රයම ජල බිල් පත් සදහා ද ආදේශ කරනවාට කිසිදු සැකයක් නැත. මේ අනුව අත්‍යවශ්‍ය පාරිභොගික සේවාවන්ගේ සහ භාණ්ඩවල මිල ඉහළ දමන්නේ රටේ පාලකයා වන මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ රජයේ මැති ඇමතිවරුන්ගේ සිට අනෙකුත් නිලතල දරන්න්ගේ අකාර්යක්ෂම භාවය නිසා නො වේ ය.... යන සද් හැගීම හුදී ජනයාගේ සිත් තුළ පැළ පදියම් කරවනවා ඇත. ඒ සදහා මාධ්‍යයන් ද මහත් වූ කාර්යයක් ඉටු කරනු ලබයි.

පසු ගිය දා නිමාවට පත් වූ බස් වර්ජනයේ දී දැක ගත හැකි වූයේ ද මෙ වන් වූ තත්ත්වයකි. ඉන්ධන මිල ඉහළ දැමීමේ ක්‍රියාවලියට පසු සමාජයමත වන පීඩනය ප්‍රකාශ වීම වළක්වා ගැනීම සදහා ද බස් වර්ජනය රටවැසියා තුළ තෙරපුමක් ඇති කරනු ලැබුවේ ය. බස්හිමියන් වර්ජනයට අර අදින බව ඊට දින කිහිපයකට පෙර සිටම ඔවුන්ගේ බස් රථවල ප්‍රදර්ශනය කළ පෝස්ටරයක් මගින් මුලු රටම දැන සිටියේ ය. එසේ වුවත් රජය කරනු ලැබුවේ, බස් වර්ජනයකින් රටේම ජන ජීවිතය අවුල් වන තැනකට රට පත්කොට බස් හිමියන් කෙරෙහි ජනතා අවධානය යොමු කොට සැබෑ ජනතා උත්තේජනය යටපත් කිරීමට පියවර ගැනීම ය.

ඉතිහාසයේ කවරදාකවත් සිදු නො වූ ආකාරයට බස් ගාස්තුව ඉහළ ගියේ ඊටම සාපේක්ෂ ඉන්ධන මිල ඉහළ දැමීමෙනි. දැන් රජයට අවශ්‍ය ආකාරයට බොහෝ දේ සිදු වී අවසන් ය. මගී ජනතාවත්, රටේ දෛනික කටයුතුත් අඩාල කිරීම හේතුවෙන් පැය ගණනාවක් තිස්සේ වරදකරුවන් බවට පත් කර සිටි පුද්ගලික බස් කර්මාන්තයේ නියැළී සිටිය වුන් ද නිදොස් කොට නිදහස් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කරනු ලැබී ය. ඒ අනුව බස් හිමියන්ගේ පාඩුව පියවා ගැනීමට හැකි මං තැනී ය. බස් වර්ජනය හේතුවෙන් රටට වන බලපෑම නැති කිරීම හෙවත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම රජයක වගකීම වන හෙයින්, රජය ජනතාව වෙනුවෙන් ගත් පියවරක් ලෙස බස් ගාස්තු ඉහළ නංවා බස් ධාවනය යළි යථා තත්ත්වයට පත් කරන ලදී. පැය කිහිපයකට මාධ්‍ය හරහා වැරදිකරුවන් කරනු ලැබූ බස් හිමියන් මෙන්ම ජනතාව මත බර පටවමින් ඉන්ධන මිල වැඩි කළ රජය යන දෙකොට්ටාසයම දැන් නිදොස් ය.

ඉතිහාසයේ කවරදාකවත් සිදු නො වූ ආකාරයේ ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිභෝජනයට ගන්නා වැලි කැටයේ සිට මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපැයුම් දක්වා සියල්ලෙහි මිල ඉහළ යනු ඇත. හලාවත දී වෙඩි කෑ ධීවරයාට ද තම නිෂ්පාදනයේ මිල ඉහළ දමා ජීවිකාව කරගෙන පාඩුවේ සිටින්නට නො හැක්කේ මන්දැයි අමන සිතකට පහළ වූ සිතිවිල්ලක් අන්තර්ජාලය ඔස්සේ කියැ වූ විට හිතට දැනුනේ කිමෙක් දැයි සටහන් කිරීමට මෙම යතුරු පුවරුව ඉඩක් නො දුන්න ද පුරවැසියා පිළිබදව ලියන්නට - කියවන්නට වන පිපාසය මෙම සටහන් තබයි.

සමස්ත ධීවරයා මුහුණ දෙන කටුක යථාර්තය වෙනුවෙන් වන විසදුමක් සොයා හලාවත ධීවරයෙක් දිවි පුදද්දී, කටුකන ලියන අප්පුලාට එය වැදගත් නො වූ බව ද පැහැදිලි ය. වැරදීමකින් හෝ උද්ඝෝෂකයින් අතින් රජයේ ආරක්ෂක සේවාවක කිසිවෙකකුත් අපහසුතාවකට හෝ ලක් වූ වා නම් එය වාර්තා කරන්නේ මේ අන්දමට නො වන බව ඉතා පැහැදිලිය. මෙම සිදුවීමට පසු දින එනම් අද (2012 පෙබරවාරි 16) දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන දෙකක මුද්‍රිත මාධ්‍යයන් හි මුල් පිටු පහතින් පළ කරන්නේ එය වඩාත් පැහැදිලි කර ගැනීමට ය.

රජයේ කටුකන ලියන අප්පුලාගේ නවාතැන් පොළේ පහරුව

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පවුලේ සබදතා ඇති පහරුව

මේ සිද්ධියට අදාළව තවත් මාධ්‍ය ආයතනයක් පුවතක් ලියා ඇත්තේ ජනාධිපතිවරයා රටේ නැති අවස්ථාවක ආරක්ෂක අංශයේ සිටින රට හරකුන් මෙම හලාවත වෙඩි තැබීම සිදු කළ බව අගවමිනි. එම ලිපිය පළ කරන්නේ රජයේ යුද ක්‍රියාන්විතයට සහ රටේ යුද මානසිකත්වය වර්ධනයට අනූපමේය මෙහෙවරක් සිදු කරන දිවයින පුවත් පතයි.

"..... ඊයේ එතැන සිටි ආරක්‍ෂක අංශවල රට හරකුන්ට එතරම් දුර දිග හිතන්නට තරම් මොළ තිබුණේ නැත. එසේ තිබුණා නම් ඔවුන් උද්ඝෝෂකයන්ට වෙඩි තබන්නේ ද නැත.

මෙයට කලකට පෙර කටුනායක දී පැවැති උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි තැබීම නිසා තරුණයෙක්‌ මළේ ය. ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණයක්‌ සිදුවන විට ඊට වෙඩි තබා උද්ඝෝෂකයකු මිය යැම ජාත්‍යන්තර මට්‌ටමෙන් ඉතා නරක ප්‍රතිඵල ඇති කරයි. අවසානයේ දී පිටරටවල් කියන්නේ ලංකාවේ මානව අයිතීන්ගේ තත්ත්වය පිරිහී ඇති බව ය. මීට තුන් දිනකට පෙර මෙහි පැමිණ ඒ බව අපේ මුහුණටම කියා යැමට තරම් රොබට්‌ බ්ලේක්‌ නිර්භීත විය. ඊයේ උද්ඝෝෂණයට වෙඩි තැබූ පොලිසිය හෝ හමුදාව කළේ රොබට්‌ බ්ලේක්‌ගේ ප්‍රකාශය සත්‍යයක්‌ බවට පත් කිරීම ය.

.......ජනාධිපතිතුමා රටේ නැති මෙබඳු මොහොතක ආරක්‍ෂක අංශ වගකීමක්‌ නැතිව ක්‍රියා කළ ආකාරයෙන් ආණ්‌ඩුවට විශාල කළු පැල්ලමක්‌ වැදී ඇත. වහා පරීක්‍ෂණ පවත්වා උද්ඝෝෂකයන්ට වෙඩි තැබූ මිනීමරුවන්ට දඬුවම් කිරීමටත්, ඉන්ධන මිල පහළ දැමීමටත් ආණ්‌ඩුව පියවර ගත යුතුය. ආරක්‍ෂක අංශ යුද්ධයේ දී කළ මෙහෙවර කිසිදු ලෙසකින්වත් අවප්‍රමාණ කර සලකනු නො ලැබේ. එසේම නිකරුණේ මිනී මරන විට යුද ජයග්‍රහණය මතක්‌ කරමින් සමාව දීමට කවුරුවත් සූදානම් නැති බව ද ආණ්‌ඩුව මතක තබා ගත යුතු වේ....."

මෙම ලියුම්කරුට (දිවයින කතු වරයාට) අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම සියලු ව්‍යසන් හමුවේ නිවැරදිකරු ය. ඒ සමගම අමෙරිකානු නියෝජිතයා වන රොබට් ඕ බ්ලේක් යථාර්තවාදී චෝදනාවන් ලංකාවට එරෙහිව කරන බව සනාථ කරයි. එමෙන්ම දිවයින එම ලිපිය ආරම්භයේ සිටම කරන කන්දොස්කිරියාවකට යොමුවෙමු.

"....යුද ජයග්‍රහණය නිසා ජනතාව තුළ උපන් අනුපමේය භක්‌තිය ප්‍රයෝජනයට ගෙන සද්භාවයෙන් සහ යහ පාලනයෙන් ඉදිරියට යැමට ඇති අවස්‌ථාව ආණ්‌ඩුව විසින් නිසි පරිදි ප්‍රයෝජනයට ගනු ලබන බවක්‌ නො පෙනේ. ඊයේ උදේ හලාවත දී පැවැති ධීවර උද්ඝෝෂණයේ දී තරුණයකු මියගියේ හිසට වෙඩිල්ලක්‌ වැදීමෙනි. අඟල් තුනක්‌ පමණ විශාල හිලක්‌ ඔහුගේ හිසේ පසු පස කොටසේ සෑදී තිබිණි. මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය කියවමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ කලහකාරී ලෙස හැසිරුණු ධීවරයන් පිරිසකට කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කළ බව ය. කඳුළුගෑස්‌ වලින් ඔළුව හිල්වන්නේ කොහොමද? කඳුළු ගෑස්‌ කැනිස්‌ටරය මහ දුරක්‌ ගමන් කර විශාල වෙඩි උණ්‌ඩයක්‌ බවට පරිවර්තනය වීද? එ නම් පිටි කොටමින් සිටින විට හදිසියේ ම මෝල්ගහ පත්තු වීද? ධීවර ජනයා කලබල කළේ ඉහළ ගිය ඉන්ධන මිල සම්බන්ධයෙන් කළ උද්ඝෝෂණයක දී ය. උද්ඝෝෂණයක්‌ යනු සීල ව්‍යාපාරයක්‌ නො වේ. එහි දී ස්‌ථිර වශයෙන් ම කලබල හට ගනී. හලාවත උද්ඝෝෂකයන් ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලා සිටියේ ය. තෙල් නැතිව බෝට්‌ටු නො දුවන අතර ඊට අනුකම්පා කර ධීවරයන්ට අල්ලා ගැනීම පිණිස මාළුන් වෙරළට එන්නේ නැත. ඉහළ ගිය තෙල් මිලට තෙල් ගසාගෙන මුහුදු ගොස්‌ අල්ලන මසුන් විකුණන්නට වෙන්නේ ද වැඩි මිලට ය. මෙ විට මිනිසුන් මාළු කෑම නවත්වා ශ්‍රී ලංකාවේ හැටියට ඇති ලාභම ආහාරය වන කුකුළු මස්‌ වෙත යොමු වන්නට පටන් ගන්නවා ඇත. ඉදිරියේ දී තමන් මුහුණ පෑමට යන ආර්ථික අර්බුදය දුටු ධීවර ජනයා තමන්ට කළ හැකි අවම ක්‍රියාව, එ නම් උද්ඝෝෂණයක යෙදීම කළේ ය. මිනිසුන් දවස්‌ දෙකක්‌ එක දිගට උද්ඝෝෂණය කරන්නේ නැත. අනෙක සටන් පාඨයක්‌ කීවාට එයින් කාටවත් හානියක්‌ වන්නේ ද නැත. මේ උද්ඝෝෂණයට ආ ජනයා තුවක්‌කු අරගෙන ආවේ ද නැත....."

මේ අනුව ලේඛකයා පැහැදලි කරන්නට වෙර දරන්නේ යුද ජයග්‍රහණයේ ආදීනව රට හමුවේ තබමින්, නො නවත්වා ජනතාව පීඩාවට පත් කිරීමට රජය දරන තැත කඩාකප්පල් කිරීමට මෙ වන් වෙඩි තැබීම් ඉවහල් වන බව කි. මෙම ලිපියේ කිසිදු තැනක රජයේ නාස්තිය, දූෂණය, වංචා, මැර ක්‍රියා මෙන්ම අසමජ්ජාති ගනුදෙනු නිසා ඇති වී ඇති ආර්ථික අහේනිය හේතුවෙන් එය ජනතාව මත පැටවීම සම්බන්ධ කිසිවක් සදහන් කර නැත. අඩුම තරමින් ඉන්ධන මිල මේ සා සීඝ්‍රයෙන් ඉහළ දැමීම පිළිබදව කිසිවක් සදහන් කර නැත. තවමත් වනන්නේ යුද ජයග්‍රහණයක් පිළිබද අමිහිරි කටුක අතීතය ය.

රට අන්තර්ජාතික වශයෙන් අපකීර්තියට ලක්වීම සම්බන්ධයෙන් ලේඛකයාට ( දිවයින කතුවරයාට) දුකක් ඇති බව කි. එය ප්‍රකාශ වන්නේ මෙ ලෙස ය. ".......මෙයට කලකට පෙර කටුනායක දී පැවැති උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි තැබීම නිසා තරුණයෙක්‌ මළේ ය. ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණයක්‌ සිදුවන විට ඊට වෙඩි තබා උද්ඝෝෂකයකු මිය යැම ජාත්‍යන්තර මට්‌ටමෙන් ඉතා නරක ප්‍රතිඵල ඇති කරයි. අවසානයේ දී පිටරටවල් කියන්නේ ලංකාවේ මානව අයිතීන්ගේ තත්ත්වය පිරිහී ඇති බවය...."

පිටරටවල් කියන නිසා මෙහි වෙඩි තැ බීම යුද ජයග්‍රහණයට මුවා වී ජනතාව පෙළන ආණුඩුවට සුබ නැත. පිටරටවලට අරංචි නො වන ලෙස මිනී මරන්නට පුලුවන් නම් හෝ යුද ජයග්‍රහණයට මුවා වී ජනතාව පෙළමින් සහ හිතුමතේ ගසා කමින් රට කර ගෙන ගියාට කම් නැතැයි ඉන් අදහස් කරන්නේ ද යන්න පාඨකයා තව දුරටත් පැහැදිලි කර ගත යුතු ව ඇත.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා යනු එරට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය. සන්නද්ධ සේවාවන්හි ප්‍රධාන විධායකයා ය. එ නම් සේනාධිනායකය ය. එල්ටීටීඊය යුදමය ලෙස පරාජය කරන ලද යුද්ධයෙන් පසු එහි සියලු ගෞරවය තමා වෙත ලබා ගත් ජනාධිපතිවරයා දැන් තමා මෙම ආරක්ෂක අංශයන්ට අණ දෙන්නා නො වේ යැයි කියන්නේ කෙසේ ද ? ආරක්ෂක අංශ ගන්නා වූ පියවර යන්ට තමා වග නො කියන බව අගවන්නේ කෙසේ ද ? එමෙන් ම, තෙල් මිල වැඩි කිරීම සම්බන්ධ සියලු තීන්දු තීරණ කැබිනට් මණ්ඩලය නො දන්නවා යැයි කියන්නේ කෙසේ ද ? එසේ නම් දිවයින කතු වැකියට අනුව ජනාධිපතිවරයා රටේ සිටියත් නො සිටියත් එහි වගකීම් ජනාධිපතිවරයා භාර ගත යුතු ය.

වත්මන් ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා සේ ම, ජනාධිපතිවරයා ද රට තුළ ඇතැම් තීරණාත්මක අවස්ථා උදා කොට රටින් බැහැරව යන්නේ ය. නො එසේ නම් රටින් දින කිහිපයකට බැහැරව යාමට මත්තෙන්, එවන් තීරණ ගෙන තමා බේරා දීමේ මානසික මෙහෙයුම් දියත් කිරීමට කටු ලොවන්නට සළස්වා ඇති මාධ්‍යවේදීන් යැයි කියා ගන්නාවුන් යොදා ගන්නේ ද යන්නත් පාඨකයා මැනැවින් පිරික්සිය යුතේ ය.

මෙ වන් අවස්ථාවක ජනතාව වෙනුවෙන් පියවර ගත යුතු ප්‍රධාන විරුද්ධ පක්ෂයේ හා එහි නායකයාගේ හැසිරීම තවත් ලිපියකින් වෙනම සසදා බලමු.


ජනිත් විපුලගුණ - 2012 පෙබරවාරි 16

අවසන් යාවත්කාලීන කිරීම (2012 පෙබරවාරි 16 වෙනි බ්‍රහස්පතින්දා, 14:09)