හලාවත සිදුවීමේ දී කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරන අතරේ හමුදාව අත්බෝම්බ වැනි යමකිනුත් පහර දී තිබෙන බවත්, මිය ගිය තරුණයාගේ සිරුර බිම දාලා පාගා ගෙන රෝහලට ගෙන යන්න ඉඩ නො දුන් බවත් ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් සම්බන්ධීකාරක දුමින්ද නාගමුව අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවැසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව ජන අරගල සම්බන්ධීකාරකවරයා...
‘‘හලාවත වෙඩි තැබීමෙන් ධීවරයකු මිය ගොස් තිබෙනවා. මේ වෙඩි තැබීමට සම්බන්ධ හමුදාව යි. ධීවරයින් එක්ක කතා කරද්දී ඔවුන් කිව්වේ වෙඩි තියනවා කියලා තමන්ට තේරුනේ නැහැ කියලා. ධීවරයින්ට එල්ල කළ කඳුළු ගෑස් ටින් එකක් අහුලාගෙන අනෙක් පැත්තට විසි කරන්න උත්සාහ කරද්දී එය අතේ පුපුරා ගොස් එක් අයකු තුවාල ලබා තිබෙනවා. ඔහුගේ අත සැත්කමකින් ඉවත් කරන්න වේවි කියලා තමයි වෛද්‍යවරු කියලා තිබෙන්නේ. මේකෙන් පැහැදිලි වෙනවා, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරන අතරේ හමුදාව අත් බෝම්බ වැනි යමකිනුත් පහර දී තිබෙන බව.
ඒ විතරක් නොවෙයි, වෙඩි වැදුණු අය රෝහලට ගෙන යන්න හමුදාව සහ පොලිසිය ඉඩ දී නැහැ. ඔවුන් රෝහලට ගෙන යද්දී පහර දී බාධා කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මිය ගිය තරුණයාගේ මළ සිරුර බිම දාලා පාගලා තිබෙනවා. මිනියවත් ගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඇතැම් තුවාලකරුවන් රෝහලට ගෙන යන්න සිදු වුණේ බෝට්ටුවලින් මුහුද හරහා ගිහින්. මේ තත්ත්වය කොහොමද තේරුම් ගන්නේ?
සඳුදා තෙල් මිල වැඩි වුණා කළාට පසුව බස් හිමියන් වර්ජනයක් කළා. ඉන් පසුව 20%කින් බස් ගාස්තු වැඩි කළා. ඒ බර මගීන්ට පවරා තිබෙනවා.
එක් දින ධීවර බෝට්ටුවකට දිනකට භූමිතෙල් ලීටර් 70ක් 80ක් අවශ්‍යයි. භූමිතෙල් ලීටරක මිල රුපියල් 35කින් වැඩි කළ නිසා දැන් දිනකට අමතරව රුපියල් 2450ක් වැය වනවා. ඒ වගේම බහුදින ධීවර යාත‍්‍රාවකට එක් ගමන් වාරයක් සඳහා භූමිතෙල් ලීටර් 5000ක් පමණ වැය වෙනවා. ඔවුන්ට අමතර රුපියල් 1,55,000ක බර වැය බරක් දැරීමට සිදු වෙනවා. මේ මුදල ඔවුන් පියවා ගන්නේ කොහොමද? මාළු මිල වැඩි කළොත් ජනතාව මිලදී ගන්නේ නැහැ.
ආණ්ඩුව කියනවා ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලා. මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමූ වෙලාවේත් ධීවරයින්ට සහනාධාරයක් දෙන්න පොරොන්දු වුණා. ඒ සහනාධාරය දුන්නේ දින දෙකයි. දින දෙකකින් පස්සේ දුන්නේ නැහැ. ඒ නිසා මේ සහනාධාර කතා කියන්නේ ජනතා විරෝධය නවත්වන්න විතරයි.
ධීවරයින්ට දැන් කියන්න වෙන්නේ, අර පැරණි කියමනක් වෙනස් කරලා ගෙදර ගියත් තෝ නසී, මුහුදු ගියත් තෝ නසී කියලා. මුහුදු ගියොත් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් වෙඩි තියනවා. ගෙදර හිටියොත් රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙඩි කන්න වෙනවා.
දැන් තෙල් විතරක් නොවෙයි, විදුලි ගාස්තු 40%කින් ඉහළ දමා තිබෙනවා. රුපියල අවප‍්‍රමාණ කළ නිසා ඩොලර් එකක් රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ආනයනය කරන සියලූ භාණ්ඩවල මිල ඉහළ යනවා.
ඇතැමුන් කියන්නා වගේ නාස්තිය, දූෂණය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි මේ තියෙන්නේ. නාස්තිය හා දූෂණය මේ ආර්ථික ක‍්‍රමයත් එක්ක බැඳුණු නිවුන් දරුවන්. මේ ප‍්‍රශ්නය නාස්තියට, දූෂණයට ලඝු කරන එක වැරදියි. ඒ වගේම විපක්ෂනායකවරයා කියලා තිබුණා පාර්ලිමේන්තුව කැඳවලා මේ ප‍්‍රශ්නය විසඳන්න කියලා. ජනතාවගේ උද්ඝෝෂණ මර්දනය කරන්න හමුදාව මැදිහත් වන තීන්දුව ගත්තේ පාර්ලිමේන්තු රැස් කරලා තමයි. ජනාධිපතිවරයා හමුදාව සක‍්‍රිය සේවයට කැඳවන බවට නිවේදනය එව්වේ පාර්ලිමේන්තුවට. ඒ තීන්දුවයි දැන් ක‍්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳන්න පුළුවන් එකක් නො වෙයි.








