ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරන ලද සාමාජිකයින්ට පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම අනුකාරක සභාවට එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සංධානය හෝ සහභාගි වන්නේ නැත.
ස්වාධීන පොලිස් කොමිසමක් වහාම පත් කළ යුතු බවට උගත් පාඩම් කොමිසම නිර්දේශ කර තිබූ අතර ඒ වෙනුවට මෙම කොමිසම පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ හිතුමනාපයට අනුව ය. මෙම හදිසි පියවර ලෝක ඇස් බැන්දුමක් බව දේශපාලන අංශ පෙන්වා දෙතියි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි පවා සදහන් වෙයි.
පොලිස් කොමිසමේ සභාපති ලෙස නම් කර ඇත්තේ හිටපු තානාපතිවරයෙකු වන ජනාධිපති නීතීඥ සේනක වල්ගම්පාය ය. චාමේනී මදුරසිංහ, ආර්. සිවරාමන්, එම්. එම්. එම්. මෝව්ජූඩ් (තිදෙනාම රාජපක්ෂ ආණ්ඩුව යටතේ පොලිස් කොමිසමේ හිටපු සමාජිකයින්ය) ඩී. දිසානායක, සහ නිව්ටන් ගුණරත්න (හිටපු සභාපති අයිටීඑන්) යන අය සහ ඇල්ලේ ගුණවංශ හිමි (කැදවුම්කරු - දේශාභිමානී ව්‍යාපාරය) කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස නම් කර ඇත. මෙම අයතුරෙන් දෙදෙනෙක්ම දෙමළ විරෝධී දේශපාලනයක නියුතු වූ අය ලෙස හංවඩු ගැසී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්ථා ඍජුවම සදහන්ව ඇත.
17 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත් කළ යුතු 'ස්වාධීන කොමිෂන් සභා' යටතේ නිර්දේශිත 'ජාතික පොලිස් කොමිසම'ට සාමාජිකයින් පත් කිරීම 'ජනාධිපතිවරයා විසින්' කරන විට එය තවදුරටත් 'ස්වාධීන ආයතනයක්' ද යන්න ගැටලුවක් වන අතර 18 වන සංශෝධනය අනුව 'එ වැනි පත්කිරීම් පිළිබද බලතල' විධායක ජනාධිපතිවරයා යටතේ තබා ගෙන ඇති විට 'ව්‍යවස්ථාමය අර්බුදයක්' පැන නගින බව ද නීති විශාරදයෝ පෙන්වා දෙති.








