මේ මොහොතේ ශ්‍රී ලංකාවේ රජ කරනා අවනීතියට, බඩු මිල ඉහළ යාමට, ඉන්ධන මිළ වැඩි කිරීම, ජීවන වියදම ඉහළ යාම මෙන්ම ධීවරයන්ගේ විරෝධතාවයට වෙඩි තබා එක් ධීවරයෙක් මියයාම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම යන කාරණා රැසක් මුල්කරගනිම්න් එක්සත් ජාතික පක්ෂය සහ තවත් විපක්ෂයේ පක්ෂ කීපයක් එකතුව සංවිධානය කළ ඒකාබද්ධ විරෝධතාවට මීට ස්වල්ප මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගැස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේ ය.

එක්සත් ජාතික පක්ෂය සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව වාමාංශික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සිහල උරුමය ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක් ද, නිදහසේ වේදිකාව ජනතා ව්‍යාපාරය ද එක්සත් කම්කරු සම්මේලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රසය, ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා ජාතික වෘත්තිය සමිති සම්මේලනය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය සහ ජාතික සෞඛ්‍ය සේවක සංගමය ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටි බව ප්‍රකාශ වෙයි.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාව පැවති අතර, ටෙලිකොම් වට රවුමෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී පොලීසිය මගින් මෙ ලෙස ප්‍රහාර එල්ල කොට ඇත. මේ වන විට ඕල්කට් මාවතේ මං තීරු දෙකක් විරෝධතාවය හේතුවෙන් වසා දමා ඇත.

මේ පිළිබඳ අදහස් දැක් වූ විපක්ෂ ක්‍රියාකාරිකයෙක් ප්‍රකාශක කර සිටියේ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අකුරටම පිළිපඳිමින් පොලීසිය විසින් සියලු විරෝධතාවයන් දැවැන්ත බලකායන් යොදාගනිමින් මර්දනයට උත්සාහ දරන බවයි. නමුත් රාජපක්ෂ රජය අවසානය කරා ගමන් කරමින් සිටින බව ඔහු තවදුටරත් ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් උද්ඝෝෂකයින්ට මෙම ප්‍රහාරය එල්ල වන විට එහි ප්‍රධාන කැදවුම්කාර පාර්ශවයේ ප්‍රධානියා වන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා එම ස්ථානයෙන් බැහැරට ගොස් සිටි බව ද වාර්තා වෙයි.

මෙයට පෙර මාතර දී සාටකයේ සාපය නමින් උද්ඝෝෂණයක් පැවැත් වූ අවස්ථාවේ පොලීසිය කදුලු ගෑස් ප්‍රහාරයකට සූදානම් වෙද්දී රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා වේදිකාවේ සිට පැවැසූවේ, ලංකාවේ විපක්ෂ නායක ලෙස තමන්ට ආරක්ෂාව දිය යුතු බවත්, පොලීසියට අවශ්‍ය නම් තමා සිටින ප්‍රදේශය මග හැර වෙනත් දිශාවකට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ හැකි බවත් ය.