There are no translations available.

සු ගිය ජනාධිපතිවරණයේ දී, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ට එරෙහිව, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වූයේ, බොහෝ දෙනා මවිතයට පත් කරමිනි. ඉන් අනතුරුව, රජයේ මෙන් ම සමස්ත විරුද්ධ පක්ෂයේ ම දැඩි අවධානය යොමු වූයේ, ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත ය. 

තමන්ට කියා, නිශ්චිත අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නො මැතිව, අයාලේ ගිය එක්සත් ජාතික පක්ෂයට, ජෙනරාල් ගේ පොදු බව ආශීර්වාදයක් විය. තවත් අතකට, ජෙනරාල් වෙනුවෙන් සහාය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතරය කැමැති කරවා ගැනීම, එහි නායක රනිල් වික්‍රමසිංගේ නො මඳ අස්වැසිල්ලට ද හේතුවක් විය. 

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ, අලස ම සහ දුර්වල ම විපක්ෂ නායකයා ලෙස, වාර්තා පිට වාර්තා පිහිටුවා සිටින රනිල් වික්‍රමසිංහ, වගකීම් සියල්ල ජෙනරාල් සරත් ෆොන්සේකා පිට පටවා, ප්‍රශ්නවලින් පැන යාම උදෙසා වන, කල් මැරීමේ සුපුරුදු ක්‍රියා පිළිවෙතට අවතීර්ණ විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඡන්දායකයන්ගෙන් බහුතර ප්‍රතිශතයකට හිමිකම් කියූ, ප්‍රබලම හෙවත් තනි දේශපාලන පක්ෂය, අලස සහ දුර්වල නායකත්වයේ අනුහසින් ප්‍රමුඛතම මැතිවරණයේ දී නිද්‍රාශීලී විය. 

පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා, ජයග්‍රහණය කරවීමේ ගමන් මගෙහි කොටස් කරුවෙක් වුව ද, එම ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ ආගන්තුකයෙකු ලෙසිනි. එක්සත් ජාතික පක්ෂය මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා කැඳවූ එක් දිස්ත්‍රික් රැස්වීමක දී එහි නායකයෙක් තම වගකීම පිළිබඳව සඳහන් කළේ අපූරු ආකාරයකට ය. එක්සත් ජාතික පක්ෂය ලෙස තමන්ට ඇත්තේ පවත්වන රැස්වීමවලට සහභාගී වීම පමණක් බවත්, සංවිධාන කටයුතු සහ ප්‍රචාරක කටයුතු සියල්ල ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනු ඇති බවත්, රැස්ව සිටි පිරිසට ඔහු පැවැසූවේ ඉතා සැල්ලුවෙනි. 

එහෙත්, සැබෑ දේශපාලන උණෙන් පෙළෙන, බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයා එම ප්‍රකාශයෙන් සෑහීමකට පත් වූ බවක් පෙණෙන්නට තිබුණේ නැත. ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්ව දින ගණනක් ගතව තිබුණත්, තම පාර්ශවයෙන් දැණෙන යමක් සිදු නො වන බවට, ක්‍රියාකාරීන් පවසන ගතු, ඔවුහු තම නායකයින් ලෙස පෙනී සිටින ආසන සංවිධායකයින් හමුවේ තැබුවෝ ය. තමන්ට තම ප්‍රදේශයේ ඇලවීමට, පොස්ටරයක් වත් නො ලැබෙන බවත් සඳහන් කළෝ ය. ජෙනරාල් ගේ සහායට මුද්‍රණය කර ගෙනැවිත් දුන් පෝස්ටර තොග ගණන්, තම නිවෙස්වල ඇඳන් යට තබා ගෙන සිටි ඇතැම් ආසන සංවිධායකයින්, ප්‍රශ්න කරන්නන්හට සහ මැසිවිලි නඟන්නන්ට දීමට පිළිතුරක් ද සාදා ගෙන තිබුණි. 

ජනතා විමුක්ති පෙරමුණ පොස්ටර් ඇලවීමේ දක්ෂයින් බැවින් එම කාර්යය පවරා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට බව එම පිළිතුරයි. එම ප්‍රකාශයන්ගේ යම් උපහාසාත්මක බවක් ද දක්නට ලැබේ. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය මෙහි දී කිසිවක් ම නො කළා යැයි පැවැසිය නො හැක. සමස්තයක් ලෙස ගත් කළ එය එසේ වුවත්, නායකත්වයේ සිටි බොහෝ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයින් කටයුතු කළේ ඇඟ බේරාගැනීමේ පිළිවෙතකිනි. එක්සත් ජාතික පක්ෂයේ දුර්වල සහ අලස නායකත්වය අදටත් ආරක්ෂා කරමින් කටයුතු කරන, එහි ගාල්ල සහ මාතර දිස්ත්‍රික් නායකත්වයන් මෙයට කදිම උදාහරණයන් ය. 

ඇතැම් ආසන සංවිධායකයන්ට ලක්ෂ ගණනක මුදල් ද ලබා දී තිබුණි. ඇතැමෙක් එම මුදල් තමාගේ ඊ ළග මැතිවරණය සඳහා කරන ආයෝජනයක් ලෙස භාවිතා කළේ ය. මෙ වැනි මුදලක් එම ජනාධිපතිවරණයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ද ආසන සංවිධායකයින් හරහා ලබා දුණි. ඒ වන විට එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටි ඇතැම් ප්‍රාදේශීය සභා නියෝජිතයන්, මෙම මුදල ගැන ආරංචි වී ආසන සංවිධායක වරයා හමු වී මුදල් ලබා ගැනීමට උත්සාහ ගත් බවක් ද මේ අතර දැක ගත හැකි විය. එ වැනි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අදටත් කිසිඳු විනය පරීක්ෂණයකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුවෙන් මෙ වර ද තරඟ කරති. 

කෙසේ වෙතත්, ඉතා ප්‍රායෝගික සහ සුහදශීලී දේශපාලන ක්‍රියාධරයෙක් වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ තමාට හැරෙන්නටවත් නො හැකි බව රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක වරයා පැහැදිලිවම අවබෝධ කරගෙන සිටිනවාට කිසිඳු සැකයක් නැත. තමා කෙතරම් අලස සහ දුර්වල දේශපාලකයෙක් ද යන වග හොඳින්ම දන්නේ ඔහු ම හැර අන් කවරෙක්වත් නො වේ. එසේ වුවත් රටක සමාජයක උන්නතිය උදෙසා ප්‍රබල ආණ්ඩුක් සේම, ප්‍රබල විපක්ෂයක් ද අවශ්‍ය බව, ගැත්තන්, ඉත්තන් හෝ පෙත්තන් හෝ නො වන සහ හුදු ඡන්දදායකයන් නො වන, පුරවැසියන්ගේ හැඟීම වන්නේ ය. ශ්‍රී ලාංකේය සමාජයට ජෙනරාල් ගේ ඉදිරිපත්වීම සහ කැපවීම වැදගත්වන්නේ එම පුරවැසි අර්ථයෙනි. 

කෙසේ වෙතත්, මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, මේ රටේ ඡන්ද දායකයින් ගෙන් මිලියන පහක් සෘජුවත්, ඔවුන්ගේ යැපෙන්නන් තවත් මිලියන ගණනාවක් වක්‍රවත් ප්‍රාර්ථනා කළ ජනතා නියෝජනය, රෑඳවුම් භාරයට ගත් කළ, ප්‍රබල විපක්ෂයක වගකීම, නිසි ලෙස ඉටු නො කිරීම කෙ තරම් අභාග්‍යසම්පන්න දැයි කල්පනා කිරීමට දැණුත් ප්‍රමාදය. 

මහත් ආන්දෝලනයක් ඇති කරමින් තිබෙන යුද අධිකරණය සහ විවිධ තත්ත්වයන් ද ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහි ඇතැම් ක්‍රියා මාර්ග ද පැහැදලි තලයක ප්‍රසිද්ධියේ නිර්මාණය කරමින් තිබිය දී රටේ විපක්ෂ නායකයා, රටේ විධායකය සමඟ කෝපි බොන්නට ගියේය. සැබෑවටම ඒ ගියේ කුමක් සඳහා ද යන්න වගකිවයුතු කිසිවෙක් තවම රටට පැහැදලි කර නැත. ඒ මොහොත වන විට තමන් ද නාමිකව හෝ එක් වූ පොදු විපක්ෂයේ අපේක්ෂකයාට අත් කර දෙමින් ඇති ඉරණම ගැන කිසිවක්, රටේ විධායකයේ අවධානයට යොමු කළේ ද යන්න විහිළුවටවත් සඳහන් නො කළ විපක්ෂ නායකයා බිව් කෝපිවල පාට කියුවෙත් සති ගණන් ගෙවුණු පසුවය. 

මේ තත්ත්වයන් තුළ පැහැදලි වන්නේ විරුද්ධ පක්ෂයේ සැබෑ අරුත සාක්ෂාත් කිරීම උදෙසා, ජෙනරාල් සරත් ෆොන්සේකා අති විශාල කැපවීමක් සිදු කර ඇති බවකි. එමෙන් ම තමන්ගේ ගැල විජ්ජාව උදෙසා, වත්මන් විපක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහා පාවාදීමක් කර ඇති බව ද එහිම අනෙක් පස ලියා තැබීම අගනේ ය. 

රට කරවන පක්ෂය ගැන අපට කීමට ද දෙයක් ඇත. එ නම් එහි විධායකය හා ව්‍යවස්ථාදායකය ඇතුළු අවශේෂ අංශ වෙත, න්‍යාය පත්‍රයක් ඇත. බලාපොරොත්තු ඇත. ඒ අනුව ඔවුන්, ඔවුන් ගේ ඉලක්ක සපුරා ගැනීමට යන ක්‍රමවේදයක් ඇත. ඔවුන් ඊට අනුගතව හෝ අනුගත නො වී, යම් යම් ක්‍රියාමාර්ග ගනු ඇත. ඒවා කෙතරම් යුක්ති සහගත ද නැද්ද යන්න සහ සමාජ ප්‍රගමනයට උචිත ද අනුචිත ද යන් විමසා බැලීම අපගේ කාර්යයන් අතර විය යුතු ය. එ සේ පැහැදලි කර ගන්නා දේ අතර උචිත දේ වර්ධනය කිරීමටත් අනුචිත දේ බැහැරකිරීමටත් මඟ පෙන් විය යුතු ය. ඉන් නො නැවතී, අනුචිත සහ අධම දේ සඳහා ම ඔවුහු පෙළඹෙන්නේ නම්, ඊට එරෙහිවන ගාමක බලවේගයන්ට ධෛර්යය සැපයිය යුතු ය. රටක විරුද්ධ පක්ෂයේ වගකීම් සහ යුතුකම් ප්‍රශ්න කෙරෙන්නේ මේ විට ය. අප අද දවසේ කතා කරන සරත් ෆොන්සේකා භූමිකාව වැදගත් වන්නේ එ විටය. 

කෙසේ වෙතත්, ජෙනරාල් සරත් ෆොන්සේකා සිර අඩස්සියට ගෙන වසරක් සපිරෙන අද, පුරවැසි මාධ්‍ය භාවිතයක නියැළෙන අපි මෙසේ පවසමු. තමන් නියෝජනය කරන පක්ෂයේ බහුතරයක් සහ රටේ ජනතාවගෙන් අති බහුතරයක් එක හෙළාම ප්‍රතික්ෂේප කරන, විළිලැජ්ජාව අහලකවත් නැති, දේශපාලනික වශයෙන් ද එලොවටත් නැති මෙලොවටත් නැති, විරුද්ධ පක්ෂ නායකයෙක් සිටින රටක නමින් සරත් ෆොන්සේකා වන ඔබ, සැබෑ දේශපාලන විරුවෙකි. 

ජනිත් විපුලගුණ